A9ක් ගත් මාතර දිරිය දැරිය මිය යයි

උපතින් ම රෝගීව සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඒ සමාර්ථ 9ක් ගෙන රටට ම ආදර්ශයක් ලබා දුන් මාතර, දික්වැල්ල, රත්මලේ, කුරුඳුගහහේනේ පදිංචි දෙව්මි රන්සරා කුලතුංග රාජපක්ෂ දියණිය (17) අභාවප්‍රාප්ත වූවා ය.

උපතින් ම දෙපා වාරු නැති ඇයගේ මුළු ශරීරය ම අප්‍රාණිකව පැවති අතර පසුගිය අ.පො.ස. සා. පෙළ විභාගයට දික්වැල්ල බඹරැන්ද සද්ධර්මරාජ මහ විද්‍යාලයෙන් පෙනී සිට එම පාසලට ඒ සමාර්ථ 9ක් ලබාදෙමින් කීර්තියක් ගෙන දුන්නා ය.

එම පාසලට ලබාදුන් කීර්තියට උපහාරයක් ලෙස හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඇතුළු විවිධ දේශපාලනඥයෝ දැරියගේ නිවෙසට ගොස් සුබ පැතූහ.

දෙව්මිගේ මව වන කුසුමිණි අබේගුණවර්ධන (46) මහත්මිය එම පාසලේ ගුරුවරියක වන අතර ඇයගේ පියා වන මහින්ද කුලතුංග රාජපක්ෂ (50) මහතා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාතර අඩවි වන නිලධාරි කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරියෙකු ලෙස සේවය කළේ ය.

දෙව්මි දියණිය අ.පො.ස උසස් පෙළ විභාගය ඉහළින් සමත් වන බව සාමාන්‍ය පෙළ ජයග්‍රහණයෙන් පසු පැවසුව ද ඇය නිතර නිතර රෝගාතුර වීම නිසා ඇයට උසස් පෙළ අධ්‍යාපන කටයුතුවල නිරත වීමට නොහැකි විය.

බාල සහෝදරයන් දෙදෙනෙකුගෙන් වැඩිමලා වූ දෙව්මි තම සහෝදරයන් දෙදෙනාගේ අනාගතය ඉහළින් ඔසවා තබන්නට කළ යුතු දෑ පිළිබඳ නිතර නිතර සිහි කරමින් සිටි බව ඇයගේ නෑසියෝ පවසති.

අවමංගල්‍ය කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පැවසූහ.