Campus එකේ Rag කළොත් Blacklist

රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නවක වධය කළ බවට ඔප්පු වන සිසුන් අසාදු ලේඛනගත කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන්ද්‍ර රාඝවන් පැවසීය.

ඒ අනුව, වැරදිකරුවන් වන සිසුන්ගේ පන්ති තහනම් කිරීමට ත්, උපාධිය අවලංගු කිරීමට ත්, දේශීය විශ්වවිද්‍යාලයක අධ්‍යයන කටයුතුවලට ඉඩ නොදීමටත් පියවර ගන්නා බවද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

ඊට අමතරව මොවුන්ට රජයේ රැකියාවක යෙදීමට නොහැකි වන අයුරින් අසාදු ලේඛනගත කිරීම සඳහා නීතිඥයන්ගේ සහය ලබා ගන්නා බව හෙතෙම කීවේය.

එසේ ම, පසුගිය වසරේදී විවිධ ආතති හේතුවෙන් විශ්වවිද්‍යාල හැර ගිය 73 දෙනෙකු යළි කැඳවීමට පියවර ගත් බව ද හෙතෙම පැවසීය.

විශ්වවිද්‍යාලයන්හි ක්‍රියාත්මක වන නවක වධය මුළුමනින් ම පිටුදැකිය යුතු බව ත් ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව පියවර ගැනීමට වර්තමානයේ ක්‍රියාත්මක වන නීති ප්‍රමාණවත් බව ත් ඔහු පැවසීය.

විශ්වවිද්‍යාල තුළ මෙවැනි සිදුවීම් ක්‍රියාත්මක කරන ශිෂ්‍යයන්ට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන බවත් විශ්වවිද්‍යාල මාධ්‍යවලට විවෘත වියයුතු බව ත් රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වධයට සම්බන්ධ සිසුන්ට ද නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බව ද හෙතෙම සඳහන් කළේ ය.

එම විශ්වවිද්‍යාලයේ ආපන ශාලාවක ආහාර ගනිමින් සිටි සිසු සිසුවියන් 11 දෙනෙකුට පහර දීම සම්බන්ධයෙන් කලා පීඨයේ සිසුන් තිදෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන තිබෙන බව ද ඔහු කීවේ ය.

මෙම සිසුන් පිරිසට විවිධ ආකාරයේ පහසුකම් ලබාදුන් බව ත්, අවශ්‍ය නම් විදෙස් විශ්වවිද්‍යාලයක අධ්‍යාපන කටයුතු කිරීමට අවස්ථාව ලබාදිය හැකි බව ත් රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ ය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *