එක්දින සේවයෙන් පාස්පෝට් නිකුත් කිරීම අද සිට වැඩි වෙයි

එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය අද සිට වැඩිකිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. 

මේ දක්වා එම සේවාව යටතේ දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරනු ලැබුවේ උපරිමය 2000 ක් දක්වා පමණයි. එහෙත්, අද දිනයේ සිට එම සීමාව 3500 ක් දක්වා වැඩි කිරීමටයි කටයුතු කර ඇත්තේ. ඒ අනුව අද දිනයේ සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෛනිකව සේවා මුර 02 කට වෙන් කර සේවයට කැඳවනු ලබනවා. 

ඒ, උදෑසන 07 සිට පස්වරු 02 දක්වා සහ පස්වරු 02 සිට රාත්‍රී 10 දක්වායි. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කර වෙනත් කාර්යාල වෙත සේවා ස්ථාන මාරුවීම් ලැබූ පළපුරුදු නිලධාරීන් යළි එම දෙපාර්තමේන්තුවට මාස 03 ක කාලයක් සඳහා තාවකාලිකව අනියුක්ත කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් ද කර ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ. 

මේ අතර විදෙස් ගමන් බලපත්‍රය සඳහා ඡායාරූප ලබාගැනීමේදී එම පරිඝණක පද්ධතියේ ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් ඇතැම් ඡායාරූප ලබාගන්නා ස්ථානවල ඡායාරූප ලබාගැනීම පසුගිය දින කිහිපයේදී බාධා එල්ල වී තිබුණා. එම බාධා මගහරවා ගැනීම සඳහා පවතනි ධාරිතාව වැඩිකර නව පද්ධතියක් කුලී පදනම යටතේ ලබාගැනීමට ද ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. එමගින් ජනතාවට විදෙස් ගමන් බලපත්‍ර සඳහා අවශ්‍ය ඡායාරූප බාධාවකින් තොරව ලබාගැනීමේ හැකියාව පවතින බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

මේ අතර දෛනිකව සේවාව සඳහා ලබාගැනීම සඳහා පැමිණ සිටින සියලු අයැදුම්කරුවන් සඳහා සේවා සැපයීමට ද එම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව එක්දින සේවාව යටතේ සේවා ලබාගැනීම සඳහා දිනකදී පැමිණෙන් අවසන් පුද්ගලයා දක්වාම සේවාව ලබාදීමටයි කටයුතු කර ඇත්තේ. 

මේ අතර විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවය ලබාගැනීමෙන් රාත්‍රියේදී යළිත් බත්තරමුල්ලේ සිට කොළඹ කොටුවට පැමිණීමට බස්රථ නොමැතිවීමෙන් පුද්ගලයින් මුහුණ දෙන අපහසුතා සම්බන්ධයෙන් ද අනාවරණ කළා. ඒ පිළිබඳ ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ අවධානය යොමුව තිබෙනවා. 

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අද දිනයේදී සාකච්ඡා කර අද සිට රාත්‍රී කාලයේ බත්තරමුල්ලේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද දිනයේ විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *