මිරිහානේ දී බස් රථයට ගිනි තැබූවෙක් අත්අඩංගුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන ප්‍රදේශයේ නිවස ආසන්න මාර්ගයේදී ඉකුත් මාර්තු 31 වනදා පැවති විරෝධතාවය අතරතුර බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම සැකකරු දැරනියගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

42 හැවිරිදි ඔහු ගංගොඩවිල විජේරාම ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන ආයතනයක සේවය කරන පුද්ගලයෙකු බවද පොලීසිය සඳහන් කළා.

ඉකුත් 09 වනදා ඇතිවූ කලහකාරී සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි සහ ඇයගේ සැමියා වන කංචන ජයරත්න මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ සටහන් කර ගත්තා. ඔවුන්ගෙන් පැය 04 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බවයි පොලීසිය පැවසුවේ. 

මේ අතර අරලියගහ මන්දිරය අසළ සහ ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රියසාද් ඇතුලු සැකකරුවන් 08 දෙනා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකරුවන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයට අනුවයි.  

මේ අතර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තුන් දෙනෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් තුන්දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *