පාර්ලිමේන්තුවට වැඩි බලතල දීමට ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බව ජනපති කියයි

රටේ දේශපාලන ස්ථාවරය ඇති කිරීම සඳහා තමන් සියලුම දේශපාලන පක්ෂ නායකයින් සමග එක්ව කටයුතු කරනු ලබන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

වර්තමානයේ මේ තිබෙන තත්ත්වය පාලනය කිරීමට, ඒ වගේම රට අරාජිකත්වයට පත්වීම වළක්වා ගන්න වගේම දැනට ඇන හිට තිබෙන රජයේ කටයුතු පවත්වාගෙන යෑමට නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

තමන් මේ සතිය තුල පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනා ගත් ඒ වාගේම රටේ ජනතාවගේ විශ්වාසය තහවුරු කර ගන්න පුළුවන් අග්‍රාමාත්‍යවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඉන් පසුව පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අන්තර්ගත දෑ නැවත බලාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට තමන් කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

පත්වන රජයේ නව අගමැතිවරයාට නව වැඩපිළිවලක් ඉදිරිපත් කොට රට ඉදිරියට ගෙන යන්නට අවස්ථාව සලසා දෙන බව ද කියා සිටියා.

එමෙන්ම විවිධ පාර්ශව වලින් ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලීම් ලැබී තිබෙනවා. පත්වන රජය රට ස්ථාවර කිරීමෙන් පසුව සියලු දෙනා සමග සාකච්ජා කොට ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව සලසා දෙන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

මෙය අතිශය දුෂ්කර අවස්ථාවේදී මහජනතාවගේ දේපළ මෙන්ම ඔවුන්ගේ ජිවිත ආරක්ෂා කරගෙන ජන ජිවිතයට අවශ්‍ය සියල්ල අඛණ්ඩව සැපයීමට සහය ලබා දෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව පැවසූ ජනාධිපතිවරයා, සියලුම දෙනාගෙන් සාමකාමිව සහ කල්පනාකාරීව කටයුතු කරන ලෙස සියලුම ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව වැඩිදුරටත් කියා සිටියේ


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *