සමස්ත මහ වර්ජනය අද

මෑත ඉතිහාසයේ ආණ්ඩුවකට එරෙහිව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු ඇතුළු වෘත්තීය සමිති දහසකට අධික ප්‍රමාණයක් සහ ලක්‍ෂ සංඛ්‍යාත සේවක සහභාගීත්වයෙන් අද (28 දා) සමස්ත මහා වැඩ වර්ජනයක් රට පුරා ක්‍රියාත්මක කෙරේ.

ගාලුමුදොර, අරලියගහ මන්දිරය ඇතුළු ආණ්ඩුවට එරෙහිව රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතින ජන අරගලය ජයග්‍රහනය කරවීම සඳහා මෙම මහා වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙනුවෙන් රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළේය.

සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය, ලංකා විදුලි පොදු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ලංකා ගුරු සංගමය, රජයේ එක්සත් කළමනාකරණ සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය, තැපැල් හා විදුලි සංදේශ නිලධාරී සංගමය, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය, විශ්වවිiාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, ජාතික සේවක සංගමය, ලංකා වැවිලි සේවා සංගමය, තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය, ග්‍රාම නිලධාරී සංගමය, දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය එකමුතුව ඇතුළු වෘත්තීය සමිති දහසකට අධික සංඛ්‍යාවක සේවකයන් මෙම වෘත්තීය අරගලය ශක්තිමත් කිරීම සඳහා එක්වන බවද කුමුදේශ් මහතා කීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සාමාජිකයන්ද අද නිවාඩු වාර්තා කර නිදහස් චතුරස්‍රය අසල පෙරවරු 10.00 සිට නිහඩ විරෝධතාවක් පවත්වයි. මෙම එක් දින වර්ජනය හේතුවෙන් දිවයින පුරා රජයේ කාර්යාලවලින් රාජකාරි කටයුතු සිදුකර ගැනීමට පැමිණෙන මහ ජනතාවට සිය සේවාවන් ඉටුකර ගැනීමේ අපහසුතා ඇතිවීමට ඉඩ ඇති නිසා ඒ සඳහා විකල්ප දින සැලසුම් කරන ලෙස ද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ඉල්ලා සිටී.

විදුලි ඉංජිනේරු සංගමය ද අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙන යෑම සඳහා ඉංජිනේරුවන් රඳවා තැබීමටත් සංගමයේ අනෙකුත් සාමාජිකයන් අද නිවාඩු වාර්තා කර කොළඹ කොටුවේ විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට දහවල් 11.00ට විරෝධතාවක් පවත්වන බවත් එම සංගමය කියා සිටී.

මේ අතර වෘත්තීය අරගලයට එක්වන ඇතැම් වෘත්තීය සමිති ගාලුමුවදොර පැවැත්වෙන නිර්පාක්‍ෂික විරෝධතාව පැවැත්වෙන භූමිය වෙත යෑමට ද තීරණය කර තිබේ.