අර්බුද මැද තීරණාත්මක පාර්ලිමේන්තුව අද

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වනවා. ඒ අනුව අද සිට ලබන 08 වනදා දක්වා දින 04 ක් පාර්ලිමේන්තුව රැස්වනු ඇති. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සැසිවාර සඳහා අඛණ්ඩව පැමිණෙන ලෙසයි දැනුම්දී ඇත්තේ. 

ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම ඉල්ලීම සිදුකර ඇත්තේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින්. 

එම රැස්වීම් දෙක ඊයේ පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති මන්දිරයේදීයි. ඊට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව තිබෙනවා.

එහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ රටේ පවතින තත්ත්වය පිළිබඳ සියලු මන්ත්‍රීවරුන්ට මනා අවබෝධයක් ඇති බවයි. මෙවන් අභියෝග සඳහා සියලු දෙනා මුහුණදිය යුතු බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර ඇති බවයි වාර්තා වුණේ. 

එහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා ද ධූරය අත්හළ යුතු බවට ජනතාව විරෝධතාවල නිරත වුවද එලෙස ජනාධිපතිවරයාට ඉවත්විය නොහැකි බවයි.