මිරිහානේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුලු 45 දෙනෙකු අත්අඩංගුවට

නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 45 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිස අතර කාන්තාවක් ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. කලහකාරී තත්ත්වය හමුවේ පොලිස් නිලධාරීන් 05 දෙනෙකු තුවාල ලබා ඇති බව ද එම කාර්යාලය සඳහන් කළා. 

එමෙන්ම ආරක්ෂක අංශයට  අයත් බස්රථ 02 කට,  ට්‍රක් රථයකට හා ජීප් රථයකට ද එහිදී හානි සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. මීට අමතරව කලහකාරී සිද්ධිය ඇතිවූ ප්‍රදේශයේ තිබූ යතුරු පැදි කිහිපයකට හා ත්‍රීරෝද රථයකට ද හානි සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. 

මේ අතර නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ඇතිවූ කලහාකාරී සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 05 දෙනෙකු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ අතරින් තිදෙනෙකු මේවනවිට රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අනෙක් පුද්ගලයින් දෙදෙනා එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

විදුලි කප්පාදුව සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හ`ිගයට විරෝධය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස අසල ඊයේ රාත්‍රියේ පිරිසක් කලහකාරී ලෙස කටයුතු කළා. එම තත්ත්වය පාලනය කෙරුණේ පොලිස්, පොලිස් විශේෂ කාර්යය බලකාය හා පොලිස් කැරලි මර්ධන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුවයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා එක්රැස්ව සිටි පිරිසට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් ද එල්ල කළා. අනතුරුව පැවැති කලහකාරී තත්ත්වය හේතුවෙන් කොළඹ උතුර, කොළඹ දකුණ, නුගේගොඩ, ගල්කිස්ස යන පොලිස් බලප්‍රදේශ සඳහා පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබූ අතර එය අද අලුයම 05 ට ඉවත් කෙරුණා. 

මීට අමතරව කැලණිය පොලිස් බලප්‍රදේශයට ද ඊයේ රාත්‍රියේ පොලිස් ඇඳිරි නීතිය පැනවූ අතර එය ඉවත් කෙරුණේ ද අද අලුයම 05 ටයි. එම ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට හේතුවූයේ විරෝධතාකරුවන් පිරිසක් කොළඹ – නුවර  ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිදුකළ විරෝධතාවක්.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *