මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මරණ දඬුවමෙන් නිදොස් කොට නිදහස්

මරණීය දණ්ඩනය නියම වී සිටින  පොදුජන එක්සත් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල  විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

රත්නපුර මහාධිකරණය විසින් තමන්ට නියම කළ මරණීය දණ්ඩනය අහෝසි කොට තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකු ඉදිරිපත් කළ අභියාචනා පිළිගැනීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අය මෙසේ නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරුණා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ මෙම සිද්ධිය වූ අවස්ථාවේ දී විත්තිකරුවන් අත ගිනි අවි තිබූ බවට සහ ඔවුන් විසින් වෙඩි තැබූ බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවයි.

ඒ අනුව විත්තිකරුවන් අදාල චෝදනාවන් රත්නපුර මහාධිකරණය හමුවේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවද විනිසුරුවරයා පැවසුවා.

ඒ අනුව විත්තිකරුවන් වරදකරුවන් කරමින් රත්නපුර මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු තීන්දුව බල රහිත කරන බව සඳහන් කළ විනිසුරුවරුන් ඒ අනුව විත්තිකරුවන් තුන්දෙනා නිදොස් කොට නිදහස් කළ ලෙසත් නියෝග කළා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයකු මරා දමා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වරදකරු කළ ප්‍ර්මෙලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට 2020 වසරේ ජූලි මස 31 වනදා රත්නපුර මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කළා.

රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා තමන්ට එරෙහිව මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එම තීන්දුව අවලංගු කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාම සිය අභියාචනා තුළින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණා.