කොරෝනා පාලනය සඳහා ජනතාවගේ සහය අවශ්‍යයි

කොරෝනා වසංගත තත්ත්වය යළි ඉහළ යාමට ඉඩ නොදී පාලනය කර ගැනීම සඳහා මහජනතාව තවදුරටත් සිය යුතුකම් ඉටු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. 

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ කොරෝනා ආසාදිත එහෙත් රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් සමාජයේ සිටිය හැකි බැවින් ජනතාව තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම අවශ්‍ය වන බවයි. 

ඇතැම් පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් නොපිළිපදින ආකාරය දැකගත හැකි බව ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් සඳහන් කළා. 

මේ අතර ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 288 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන හයලක්ෂ 57, 723 ක් දක්වා ඉහළ ගියා. ඒ අතරින් සුවය ලබා ඇති පුද්ගලයින් ගණන හයලක්ෂ 24,521 ක්.

ආසාදිතයින් 16,780 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ කොරෝනා මරණ 03 ක් ඊයේ දිනයේදී වාර්තා වූ අතර ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ථ කොරෝනා මරණ ගණන 16,422 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.