අවුරුදු සමයේ භාණ්ඩ රැසක මිල ඉහළ යන ලකුණු

එළඹෙන උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල තවදුරටත් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. 

අමෙරිකානු ඩොලරයේ අගය පාවෙමින් තීරණය වන බැවින් ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව මේවනවිට අමෙරිකානු ඩොලරයේ අගය වේගයෙන් ඉහළ යමින් තිබීම ඊට හේතුව බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවසුවේ. 

කෙසේවෙතත් ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් බහාලුම් 2,500 ක් පමණ මේ වනවිටත් වරාය තුළ නැංගුරම්ලා තිබෙනවා. ඒ අතරට සහල්, සීනි, කිරිපිටි හා පරිප්පු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ අයත් බහාලුම්ද ඇතුලත්. ඩොලර් ලැබෙන ආකාරය අනුව ඒ අතරින් බහාලුම් කිහිපයක් හෝ නිදහස් කර ගැනුණ ද ඊට සාපේක්ෂව තවත් බහාලුම් දෛනිකව වරාය වෙත ලඟා වෙන බවයි ඔහු පවසන්නේ. 

අමෙරිකානු ඩොලරයේ අගය පාවෙමින් ඇති අවස්ථාවක ආනයනික භාණ්ඩ රැගත් බහාලුම් නිදහස් කර ගැනීමට මුදල් ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳ තවමත් නිශ්චිත තීරණයකට එළඹීමට ද අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ට නොහැකි වී තිබෙනවා.

කෙසේවෙතත් බැංකු මගින් මුදල් ලබා දෙන්නේ නම් එම භාණ්ඩ ඉක්මනින් නිදහස් කර වෙළඳපලට මුදා හැරිය හැකි බවයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න වැඩිදුරටත් සඳහන් කළේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *