ආනයන සීමා කිරීමෙන් මාසිකව ඩොලර් මිලියන 75 ක් ඉතිරි කළ හැකි බවට පුරෝකථනයක්

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම මගින් අවම වශයෙන් ඩොලර් මිලියන 75 ක පමණ මුදලක් මාසිකව ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර තිබෙනවා. 

කෙසේවෙතත් ඒ සදහා භාණ්ඩ වර්ග 600කට වැඩි ලැයිස්තුවක් සදහා බදු වැඩි කරන ලෙසයි මහ බැංකුව යෝජනා කර තිබුණේ. එහෙත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන සීමා කිරීම සදහා බලපත්‍ර පාලනයට මතු කර ඇත්තේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 ක් පමණයි. මහ බැංකුව විසින් ආනයන පාලනය සදහා යෝජනා කර තිබූ භාණ්ඩ ලැයිස්තුව අනුව මාසිකව අමෙරිකානු ඩොලර් මිලියන 300 ක පමණ මුදලක් විදේශයන්ට ගලා යන බවටයි ඇස්තමේන්තු කර තිබුණේ. 

මේ අතර විදේශයන්හි රැකියාවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දිරි ගැන්වීමට අවධානයට යොමු කරමින් විගණන ප්‍රේෂණ සඳහා ලබාදෙන දීමනාව ඉහළ නැංවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව විදේශ ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කරන විදේශ විනිමය රුපියල් බවට පරිවර්තනය කිරීමෙන් පසු එලෙස පරිවර්තනය කරන ලද අමෙරිකානු ඩොලරයකට රුපියල් 20 දිරි දීමනාවක් ලබාදීමටයි රජය තීරණය කර ඇත්තේ. මෙමගින් විදේශ ශ්‍රමිකයින්ට තම ප්‍රේෂණ සඳහා සුරක්ෂිතතාවට අමතරව ඉහළ ප්‍රතිලාභයක් ද ලබාගැනීමට අවස්ථාව උදාවන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළා.