යළිත් ගෑස් හිගයක් ඇතිවීමේ අවදානමක්

යළිත් වෙළඳපොළේ ගෑස් හිගයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. 

ඒ, ආනයනය කරන ලද ගෑස් මෙට්‍රික් ටොන් 7,500 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් මෙතෙක් නොලැබීම හේතුවෙන්. 

ලිට්රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පෙරේදා සහ ඊයේ දින දෙකෙහි වෙළඳපළට කිලෝග්‍රෑම් 12 යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරීමක් ද සිදුනොවූ බවයි. 

අද දිනයේද ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සිදුවන්නේ නැහැ. ඊට හේතුව වී ඇත්තේ ගෑස් තොග, ලිට්රෝ සමාගම සතුව නොමැති වීමයි. ගෑස් රැගත් නෞකා දෙකක් දින තුනක් තිස්සේ මෙරට මුහුදේ නැංගුරම් ලා තිබෙන්නේ ඒවා නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් නොමැති වීම හේතුවෙන්.   

පෙරේදා සහ ඊයේ දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළද පොලට නිකුත් නොකළද වානිජ සහ කර්මාන්ත සදහා අවශ්‍ය ගෑස් තොග මෙන්ම කිලෝග්‍රෑම් 37 යි දශම 5 ගෑස් සිලින්ඩර්ද නිකුත් කිරීම සිදු කෙරුණා. එහෙත් එම කර්මාන්ත කටයුතු සදහා ගෑස් නිකුත් කිරීමටද හෙට දිනයෙන් පසු නොහැකි වනු ඇති බවයි ලිට්රෝ සමාගම සදහන් කළේ.

කිලෝග්‍රෑම් 12 යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් දෛනික අවශ්‍යතාවය 75,000  ක්. කිලෝග්‍රෑම් 5 වර්ගයේ සිලින්ඩර් 17,000 ක පමණ ප්‍රමාණයක්ද කිලෝග්‍රෑම්  2 යි දශම 3 වර්ගයේ සිලින්ඩර් 18,000 ක් ද දෛනිකව අවශ්‍ය වනවා. කිලෝග්‍රෑම් 37 යි දශම 5 වර්ගයේ සිලින්ඩර දෛනික අවශ්‍යතාව 2,800 ක් පමණ වන බවයි ලිට්රෝ සමාගම වැඩිදුරටත් සදහන් කළේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *