මානව හිමිකම් කඩකිරීම් සිදුව ඇත්දැයි විමර්ශනයට පත් කළ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපතිට

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් හා කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ පස්වරුවේ භාරදී තිබෙනවා. ඒ, එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ එච් එම් ඩී නවාස් විසින්.

මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතල වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත් කළ කොමිෂන් සභා හෝ කමිටු මගින් අනාවරණ කර ගත් තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත් කළේ පසුගිය වසරේ ජනවාරි 21 වන දිනයි. එම කොමිසමේ පළමු වාර්තාව පසුගිය වසරේ ජූලි මස 21 වන දින ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබුවා.

පිටු 107 කින් සමන්විත දෙවන වාර්තාව සැකසීමේදී යුද්ධයට මුහුණදුන් සහ ඒ ආශ්‍රිත අත්දැකීම් සහිත යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි පදිංචිකරුවන් 75 දෙනෙකුගේ සාක්ෂි මත පදනම් කර ගත් කරුණු සැලකිල්ලට ගනිමින් නිර්දේශ කිහිපයක් කොමිසම මගින් ඉදිරිපත් කර තිබෙනවා. 2015 වසරේදී පත් කළ පරණගම කොමිසම සොයාගත් කරුණු වහාම විමර්ශනය කර ඒ සම්බන්ධයෙන් නඩුවක් හෝ වන්දි ලබාගැනීමටයි එමගින් නිර්දේශ කර ඇත්තේ.   ආර්ථික වශයෙන් නැගී සිටීමට රජයේ උපකාරය අවශ්‍ය බව කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදුන් පිරිස ඉල්ලා ඇති අතර ඒ සඳහා ද කොමිසමේ නිර්දේශ හිමිව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩක් නොමැති අතර යුද සමයේදී යම් ඥාතියෙක් මියගොස් ඇත්නම් ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව සැමරීමට අයිතිය ලබාදීමට ද කොමිසම නිර්දේශ කර තිබෙනවා. ලබන ජුනි මාසය වනවිට සිය අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට හැකි වනු ඇති බවයි එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ එච් එම් ඩී නවාස් එහිදී සඳහන් කර ඇත්තේ. 


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *