සිව්වන දිනයටත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,000 සීමාව ඉක්මවයි!

අඛණ්ඩව සිව්වන දිනයටත් මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,000 සීමාව ඉක්මවා ගියා. ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,435 ක්. ඒ අනුව මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 39,301 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊයේ තවත් කොරෝනා මරණ 161 ක් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව ද 6,000 සීමාව ඉක්මවා ගියා. ඉකුත් සෙනසුරාදා සිදුවූ එම කොරෝනා මරණ 161න්, 122 දෙදෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්.

එම කොරෝනා මරණ අතර වයස අවුරුදු 30 ට අඩු කාන්තාවක් ද වනවා. වයස අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් 38 දෙනෙකුද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ කොරෝනා මරණ 161 ට අයත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව ගත වූ දින 14 තුළදී මෙරටින් කොරෝනා මරණ 1,588 ක් වාර්තාවීම රට තුළ පවතින කොරෝනා වසංගතයේ භයානක තත්ත්වය මැනවින් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *