බස්නාහිර පළාතේ නීති දැඩි කරයි!

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන සියලු සෞඛ්‍ය මාර්ගෝපදේෂ මාලාවන් නීතියක් බවට පත් කරමින් ලබන සදුදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

මාධ්‍ය ආයතන ප්‍රධානින් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී දැන් පැවැත්වෙන හමුවකදී සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් බස්නාහිර පලාතේ පවතින සීමා දැඩි කරමින් තවත් මාර්ගෝපදේෂ මාලාවක් නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවද ඇය මෙහිදී සඳහන් කර සිටියා.

කොවිඩ් ආසාදිතයින් සඳහා දෛනික ඔක්සිජන් අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් 70-72ක් වන බවත් ඉදිරියේදී සතිපතා ඔක්සිජන් ටොන් 100 ක් ඉන්දියාවෙන් ආනයනය කිරිමට තීරණය කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) සංජිව මුණසිංහ ප්‍රකාශ කර සිටියා. යම් හෙයකින් ඉන්දියාවෙන් අදාළ ඔක්සිජන් ආනයන කිරීමට නොහැකි වුවහොත් සිංගප්පුරුවෙන් ගෙන්වීමට අවශ්‍ය පියවර ගන්නා බවදඔහු සඳහන් කර සිටියා.