බන්ධනාගාරගත කළ බදියුර්දීන් රඳවන තැන ගැන තීරණය අද!

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුර්දීන් අද දිනයේ PCR පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහු රඳවා සිටින වාට්ටුවට වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් පැමිණ මන්ත්‍රීවරයා PCR පරීක්ෂණයට ලක් කිරීමට නියමිත බවයි වාර්තා වුනේ.

ඊයේ දිනයේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු මන්ත්‍රීවරයා මැගසින් බන්ධනාගාරයේ විශේෂ ස්ථානයක රඳවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.

PCR පරීක්ෂණ ප්‍රතිඵලය අනුව බදියුර්දීන් මන්ත්‍රීවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වුවහොත් පමණක් මැගසින් බන්ධනාගාරයේ වාට්ටුවක ඔහු රඳවා තැබීමට නියමිත බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

යම් ලෙසකින් ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට PCR පරීක්ෂණයෙන් අනාවරණය වුවහොත් වැලිකඩ බන්ධනාගාර රෝහලට හෝ රැඳවියන්ට වෙන්වු ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුර්දීන් ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී ලබන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාරේතමේන්තුව මගින් ඉකුත් අප්‍රේල් මස 24 වනදා අත්අඩංගුවට ගැණුනේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාළාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාලවයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *