සෞඛ්‍ය පද්ධතියට බලපෑම් එල්ල විය හැකි තවත් අවදානමක්!

කොවිඩ් වසංගතය හේතුවෙන් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසකට පත්ව ඇති අවස්ථාවක ඩෙංගු රෝග ව්‍යාප්තිය උත්සන්න වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බරපතල අවදානමකට ගොදුරු විය හැකි බව වෛද්‍යවරුන් පවසනවා.

ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම අවදානමෙන් මිදීමට නිවාස සහ කාර්යාල පරිශ්‍ර, ඉදිකිරීම්, වැඩබිම් ආදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදුව තබා ගන්නා ලෙසයි.

මහජනතාවගේ නොදැනුවත් බව සහ වගකීම් විරහිත ක්‍රියාකාරිත්වය රෝගය සීග්‍රයෙන් පැතිර යාමට හේතු වී තිබෙනවා. රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට වැඩපිළිවෙලක් ද මේවනවිට ක්‍රියාත්මකයි.

ඒ අනුව ඩෙංගු රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණවල මිළ ගණන් අඩු කිරීම, රෝගීන් සුවපත් කර නිවෙස් කරා යැවීමට ක්‍රමවේදයක් සකස් කර තිබීම, රෝගීන් හඳුනාගතහොත් ඒ පරිසරය පරීක්ෂාවට ලක්කිරීම ඊට අයත්. එබැවින් වෛද්‍යවරුන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නිවසේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට විශේෂයෙන් මැදිහත් වී කටයුතු කරන ලෙසයි.