බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ වු හඬ පටය ගැන පොලිසිය කරුණු කියයි!!

මිරිහාන, නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත සහ බම්බලපිටිය යන ප්‍රදේශවල යම් පිපිරීමක් සිදුවිය හැකි බවට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන පුවත සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

2019 අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව යම් පුද්ගලයෙකු විසින් නිර්මාණය කොට අන්තර්ජාලයට මුදාහැරි ඇති හඬ පටයක් නැවත වතාවක් මේ අයුරින් හුවමාරු වෙමින් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ෂණයක් ආරම්භ කර ඇති බව මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේ.