ජීවන වියදම පාලනයට ඇති ප්‍රධානම මග, නිෂ්පාදනය සහ ආදායම් වැඩි කිරීමයි – ජනපති!!

ජීවන වියදම පාලනයට ඇති ප්‍රධානම මග, නිෂ්පාදනය සහ ආදායම් වැඩි කිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රජය මේ වනවිට එම ක්‍රියාදාමය ආරම්භ කර ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ජනාධිපති කාර්යයාලයේ ඊයේ පස්වරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරීන්ගේ හමුවක් අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා.

ආනයනය කරන භාණ්ඩ මිල තීරණය වන්නේ ලෝක වෙළෙඳපොළ බලවේග අනුවයි. ඒවායේ මිල පාලනය කළ හැක්කේ බදු අඩු කිරීමෙන් බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා. රට තුළ වගා කළහැකි භෝග ද්‍රව්‍ය 17ක් හඳුනාගෙන ඒවා ආනයනය සීමා කර තිබෙනවා. එම භෝග රට තුළ වගා කිරීම මේ වනවිට ආරම්භ වී ඇති අතර ඉන් ලැබෙන ආදායම ගලායන්නේ දේශීය ගොවීන්ට බව ද ඔහු පෙන්වා දුන්නා.

කලින් රුපියල් 32ක් වූ වී කිලෝවක මිල රුපියල් 50ට වැඩි කිරීමෙන් පසු නිෂ්පාදනය සේම ගොවීන්ගේ ආදායම ද ඉහළ ගිය බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.