නීතිය විෂයක් ලෙස පාසල් විෂය මාලාවට!!

නීතිය විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සදහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත්කර තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම අමාත්‍යාංශවල ඒකාබද්ධ උපදේශක කාරක සභා විශේෂ රැස්වීමේදීයි.

එම අනුකාරක සභාවට රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, සිවඥානම් ශ්‍රී ධරන්, වීරසුමන වීරසිංහ, සාගර කාරියවසම්, අමරකීර්ති අතුකෝරළ, ඩයනා ගමගේ, මේජර් සුදර්ශන දෙනිපිටිය යන සාමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. එහි ලේකම් ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලකයි.

මෙහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සඳහන් කළේ නීතිය පිළිබඳ මහජනතාව සතු දැනුම ඉතා පහළ මට්ටමක පවතින බැවින් නීතිය සම්බන්ධ මූලික අවබෝධයක් මෙරට දරුවන්ට ලබා දීම ඉතාමත් වැදගත් බවයි. ලොව දියුණු රාජ්‍යයන්හි මුලික නීතිය පිළිබඳව පුරවැසි අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කර ඇති බවත්, නීතිය පිළිබද දැනුම පාසැල් විෂය මාලාවට එක්කිරීම කාලීන අවශ්‍යතාවයක් බවත් අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

නීති විෂය, පාසැල් විෂය මාලාවට එක්කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් පත්කළ මෙම මූලික කමිටුවේ යෝජනා ඇතුළත් වාර්තාව මාස දෙකක කාලයක් තුළ ලබාදෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් කමිටු සාමාජිකයන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
අනතුරුව විශේෂඥ කමිටුවක නිර්දේශ මත නීතිය, පාසැල් විෂය මාලාවට කඩිනමින් ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *