ලොවපුරා හින්දු බැතිමතුන් අද මහා ශිවරාත්‍රි දිනය සමරයි!

ලොව පුරා හින්දු බැතිමතුන් අද මහා ශිව රාත්‍රී දිනය සමරනවා. ඒ, ආධ්‍යාත්මික ශික්ෂණය උදෙසා උපවාසයෙන් හා නිදිවර්ජිතව රැය පහන් කරමින්.

සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් මහා ශිව රාත්‍රී දිනයේ ආගමික කටයුතුවල නිරත වන ලෙස සිය බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරන බවයි ජාත්‍යන්තර හින්දු සම්මේලනයේ ලේකම් රාමචන්ද්‍ර කුරුක්කල් බාබුශර්මාතුමන් කියා සිටියා.

මේ අතර අදට යෙදී තිබෙන ශිව රාත්‍රී දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මහ ශිවරාත්‍රී දින පහන්සිල හින්දු ජනයාගේ ආධ්‍යාත්මය අලෝකමත් කරන්නා සේම, සමස්ත සමාජය පුරා සාමය, සංහිඳියාව සහ සතුට සාක්ෂාත් කර ගැනීමට ශිව දෙවිඳුන්ගේ ආශිර්වාදය වේවායි ප්‍රාර්ථනා කරන බවයි. කොවිඩ් වසංගතය නිසා පසුගිය වසරේ සෞඛ්‍ය නීති රීතිවලට අනුගතව මහා ශිව රාත්‍රී දින වතාවත් සිදු කිරීමට හින්දු බැතිමතුන්ට සිදුවුණා.

මෙවර යම් ලිහිල් කිරීමක් ඇතත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් හින්දු බැතිමතුන් මහා ශිවරාත්‍රී දිනය සමරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා නිකුත් කළ මහා ශිවරාත්‍රී දින පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර අදට යෙදී ඇති මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. මහා ශිවරාත්‍රී දින දැල්වෙන පහන් අලෝකයෙන් ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයින්ට සෞභාග්‍යමත් අනාගතයක් උදාවීම සඳහා වූ සියලු අපේක්ෂාවන් ඉටුවේවායි තමන් ප්‍රාර්ථනා කරන බවයි එම සුබ පැතුම් පණිවිඩයේ දැක්වෙන්නේ. මහා ශිවරාත්‍රී දින දැල්වෙන පහන් ආලෝකයෙන් ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයින්ට සෞභාග්‍යමත් අනාගතයක් උදාවීම සඳහා වූ සියළු අපේක්ෂාවන් ඉටු වේවා යැයි සුබ පැතුම් එක් කරන බව ද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ මහා ශිවරාත්‍රී දින සුබාශිංසන පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අදට යෙදී ඇති මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එමගින් විපක්ෂ නායකවරයා පවසන්නේ අදුර දුරලමින් බලාපොරොත්තුවේ ආලෝකය සියළුදෙනා තුළ දැල්වේවා යන්නයි. ලෝකවාසී සමස්ත හින්දු ජනතාවට සාමය, සංහිඳියාව උදෙසා මඟ කියන අර්ථපූර්ණ මහා ශිව රාත්‍රී දිනයක් වේවායැයි ද විපක්ෂ නායකවරයා සිය සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා