රජය ඇණවුම් කළ කොවිඩ් මර්දන එන්නත් සතියක් ඇතුළත දිවයිනට!

ශ්‍රී ලංකා රජය ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය ලබන සතියේදී මෙරටට ලැබෙනු ඇති බව වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. මාධ්‍යවාර්තාකරු කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ බොහෝ දුරට ලබන බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනයේ එම එන්නත් තොගය මෙරටට ලැබෙනු ඇති බවයි.

එන්නත් ලක්ෂ 05 බැගින් වාර කිහිපයකදී ඇස්ට්‍රාසෙනිකා එන්නත් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් මිලදී ගැනීම සඳහා අදාළ මුදල ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවේ සීරම් ආයතනය වෙත ඊයේ දිනයේ ගෙවනු ලැබුවා. එම එක් එන්නතක් මිලදී ගනු ලබන්නේ අමෙරිකානු ඩොලර් 5.25 කටයි.