දිවයිනට පැමිණි පසු නිවෙස් නිරෝධායනය ලබා දෙන්නැයි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක්!

විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට යොමු කරන්නැයි විවිධ පාර්ශව රජයෙන් ඉල්ලීමක් කරනවා. එලෙස පැමිණෙන ඇතැම් ශ්‍රී ලාංකිකයින් ද මාධ්‍යවේදීවාර්තාකරු වෙත ප්‍රකාශ කළේ සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන නිර්ණායකයන්ට අනුව තමන්ට නිවෙස් තුළ නිරෝධායනය වීමටද හැකි බවයි. දැනට ශ්‍රී ලංකාවේ වසා දමා ඇති සිය නිවෙස් නිරෝධායනය සදහා පහසුවෙන්ම යොදා ගැනීමට හැකි බවද එම ශ්‍රී ලාංකිකයින් කියාසිටියා. එම නිවෙස්වල සෞඛ්‍ය ආරක්‍ෂිතව නිරෝධායනයට යොමු විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මාධ්‍යවාර්තාකරු මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්ද විමසීමක් කළා. එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියාසිටියේ මෙතෙක් එවැනි තීරණක් ගෙන නොමැති බවයි

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළේ විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රමිකයින්ට අවශ්‍ය නිරෝධායන ක්‍රියාවලියේදී ඔවුන්ගේ නිවෙස්වල ඉඩ පහසුකම් අනුව අවසර ලබා දිය හැකිද යන්න පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකායේ අවධානය යොමු කරන බවයි. මේ වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 32,000ක් පමණ මෙරටට ගෙන්වාගෙන ඇති අතර තවත් 22,483 දෙනෙක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවනවා.

මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නා ලෙසද අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාල බලධාරීන්ට උපදෙස් ලබා දි තිබෙනවා.