පාසැල් නිල ඇඳුම් සඳහා රෙදි දේශීය නිෂ්පාදකයාගෙන් ගැනීමට ජනපති ගේ අවධානය

ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයට ලක්ව තිබෙනවා. මහා සහ සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කර සිටින්නේ.

අද (28) පෙරවරුවේ දංකොටුව, කර්මාන්තපුරයේ DankotuwaTextile Mill (pvt) ltd, කඳාන, කපුවත්ත Vanguard Industrial (pvt) ltd සහ වත්තල Creative Textile Mill (pvt) ltdආයතන නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කර සිටියා.

පාසල් නිල ඇඳුම් සදහා ක්‍රියාත්මක කළ කූපන් ක්‍රමයත් සමග විශාල ප්‍රාග්ධනයක් වැය කොට පටන් ගත් ආයතන කිහිපයක් වසා දැමීමට සිදු වූ බව කර්මාන්තකරුවෝ පවසන්නේ. මේ හේතුවෙන් විශාල පිරිසකට රැකියා අහිමි වූ බව ඔවුන් කියා සිටියි.

දංකොටුව කර්මාන්තයේ පුරයේ පිහිටුවා ඇති Creative Textile Mill (pvt) ltd ආයතනය ප්‍රථමයෙන් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරුණා. රුපියල් මිලියන 2000ක ආයෝජනයකින් ස්ථාපිත කර්මාන්ත ආයතනය 2015 වසරේ සිට වසා තබා ඇති අතර කිසිදු ආදායමක් නොලැබුණද වසරකට රුපියල් මිලියන 08ක බැංකු පොළියක් ගෙවීමට හිමිකරුට සිදුව තිබේ.

Creative Textile ආයතනය ඉන්දියාව, පාකිස්ථානය සහ චීනය යන රටවලින් නූල් ආනයනය කොට රෙදි නිෂ්පාදනය කිරීමෙන් 500 දෙනෙකුට රැකියා සපයා ඇත. එහි නිෂ්පාදන ධාරිතාව දිනකට රෙදි මීටර් ලක්ෂය දක්වා වැඩිකිරීමට අපේක්ෂා කෙරේ.  වාර්ෂික පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව මීටර් මිලියන 11කි. 

රෙදි නිෂ්පාදනය කඩිනමින් යළි ඇරඹීමට ආයතන කළමනාකාරිත්වය දිරි ගැන්වූ ජනාධිපතිතුමා ස්වයං රැකියාවක් ලෙස රෙදි නිෂ්පාදනයේ නිරත පිරිසට ද පාසල් රෙදි සැපයුමට අවස්ථාව සැලසීම ගැන සොයා බලන්නැයි පවසා සිටියා.

දේශීය රෙදි නිෂ්පාදනය වැඩි කිරීමෙන් ආනයන පිරිවැය 68%කින් ඉතිරිකර ගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. දේශීය රෙදි මිලට ගැනීමෙන් අධ්‍යාපන අමාත්‍යංශයටවාර්ෂිකව රුපියල් මිලියන 80කට අධික මුදලක් ඉතිරිකරගත හැකි බව ද අනාවරණය විය.

ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සහ ජනතාව දංකොටුව, කර්මාන්තපුරය ආශ්‍රිතව ඉදිරිපත් කළ ගැටළු පිළිබඳව ද ජනාධිපතිතුමා අවධානය යොමු කර සිටියා. 

2015ට පෙර පාසල් නිල රෙදි අවශ්‍යතාවයෙන් 40%ක දායකත්වයක් දුන් කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial (pvt) ltd ආයතනය දැන් ඇඳ ඇතිරිලි සහ තුවා නිෂ්පාදනයේ නිරතව සිටි. ආයතනයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා දේශීයවෙළෙඳපොළහි රෙදි අවශ්‍යතාව සපුරාලීමට ධාරිතාව වැඩි කරන්නැයි ආයතන කළමනකාරිත්වය දිරි ගැන්වීය. තම ආයතනයට ද පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් 30%ක් සම්පාදනය කළ හැකි බව කළමනාකාරිත්වය කියා සිටියේ.

DankotuwaTextile Mill (pvt) ltd ආයතනයේම ශාඛාවක් වන වත්තල ක්ලිප්ටෙක්ස් Creative Textile Mill (pvt) ltd ආයතන ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි එහි නිෂ්පාදනය කෙරේ. 

1500ක පමණ පිරිසක් සේවය කරන අතර ආරක්ෂක අංශවලට අවශ්‍ය පරිදි රෙදි වර්ණ ගැන්වීම ආයතනයේ මූලික කාර්යයකි. ආනයනික රෙදි පරීක්ෂා නොකරන අතර, දේශීය රෙදි නිෂ්පාදන පරීක්ෂණවලට යොමු කිරීමේ දී විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව කළමනාකරිත්වය ජනාධිපතිතුමාට කියා සිටියා.
 
රෙදි සෝදන කුඩු වර්ග නිසි නියාමනයකට ලක් නොවන බව පෙන්වා දුන් ඕව්හු එමගින් රෙදිවල වර්ණයට විශාල හානියක් වන බව දැනුම් දුන්නා. රජය දේශීය කර්මාන්තකරුවන්ට දෙන සහය ප්‍රයෝජනයට ගෙන දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළ දිනා ගැනීමට උත්සුක වන්නැයි ජනාධිපතිතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියා


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *