ජනපති ගම සමඟ පිළිසඳර ඇරඹේ

ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අවධාරණය කර සිටිනවා. මේ නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයෙන් අද (25) ආරම්භ වූ “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ දී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කර සිටියා.

“රාජ්‍ය නිලධාරීන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ ජනතා ගැටළු සවිඥාණිකව අවබෝධකරගෙන විසඳුම් දීම. ජනතාවගේ පැත්තේ සිට නිවැරදි සහ ඝෘජු තීරණ ගන්නා නිලධාරීන් මම ආරක්ෂා කරනවා. ජනතා ප්‍රශ්නවලට විසඳුම්දීමට රාජ්‍ය ආයතන දිගුකාලයක් ගන්නවා. ආයතනයක ලිඛිත විමසුමකට අනෙක් ආයතනයෙන් දින 14ක් ඇතුලත පිළිතුරු නැත්නම් එම ලිඛිත ඉල්ලීම අනුමත කළා සේ සලකා ජනතාවට පිළිතුරු දෙන්න” ජනාධිපතිතුමා නියෝග කර සිටියා.

හල්දුම්මුල්ල, බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙසත්, වෙලංවිට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුෂ්කරතම ගම්මානය ලෙසත් සලකනු ලබනවා.  “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ පළමු හමුව හපුතලේ, වෙලංවිට, අක්කර 100 ගම්මානයේ කුමාරතැන්න විද්‍යාලයේ දී ආරම්භ කරමින් ජනාධිපතිතුමා ප්‍රදේශයේ ජනතා ගැටළුවලට සවන් දුන්නා.

මාර්ග, විදුලිය සහ පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා පවා සපයා ගැනීමට නොහැකිවීමෙන් ජනතාව සිය පාරම්පරික ගම්බිම් අතහැර ගොස් ඇති බව ගම්වාසීහූ ජනාධිපතිතුමාට පෙන්වා දුන්නා. කලින් සැලකිය යුතු දරු පිරිසක් ඉගෙනුම ලැබූ කුමාරතැන්න විද්‍යාලය සිසුන් 16 දෙනෙකුට සීමාවීම ඊට කදිම නිදසුනක් බව ඕව්හු සඳහන් කර සිටියේ.

අක්කර 100 සිට වෙලංවිට දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනයට, ජල මූලාශ්‍ර හඳුනාගනිමින් පානීය ජල අවශ්‍යතා සපුරාදීමට සහ තෙමසක් ඇතුලත විදුලිය දීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා විසින් නියෝග කරනු ලැබුවා. සන්නිවේදන අවහිරතා නිසා ජන ජීවිතයට සිදුව ඇති ගැහැට පිළිබඳව ජනතාවගේ මැසිවිලි රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අවධානයට යොමු වුවා. සති කිහිපයක් තුල සන්නිවේදන පහසුකම් සැලසීමට ද තීරණය කෙරුණා.

වසර ගණනාවකට පෙර ගම්බිම් අතහැර ගියද, සාකච්ඡාවට පැමිණ සිටි ගම්මු ජනාධිපතිතුමා ගත් තීරණ නිසා සිය ගම්බිම්වල ජීවත්වීමට නැවත අවස්ථාව උදා වූ බව ප්‍රීති ගෝෂා කරමින් පවසා සිටියා.

කුමාරතැන්න විද්‍යාලයට නව ගොඩනැගිල්ලක් ඉදිකරදීමට නියම කළ ජනාධිපතිතුමා  ප්‍රදේශය අවට දරුවන්ට ද නැවත පාසලට පැමිණ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසන්නැයි නිලධාරීන්ට දැනුම් දුන්නා.

සාකච්ඡා මණ්ඩපයට පැමිණි අවට ප්‍රදේශවල ජනතාවගේ තවත් ගැටළු රැසක් ජනාධිපතිතුමා විසින් විසඳුම් මගට යොමු කරනු ලැබීය.

කිරවනාගම සහ නිකපොත මහ විද්‍යාලවල සහ කොස්ලන්ද ජාතික පාසලේ ගුරු හිඟය විසඳීමටත්,  හාලි ඇල මලිත්ත මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සකස්කර දීමටත් ජනාධිපතිතුමා විසින් නියම කරන ලදී. ඒ හැර වැල්ලවාය ගම්පහ මහා විද්‍යාලයට විදුහල්පතිවරයෙකු පත් කිරීමට, සොරගුණේ  සහ ජනානන්ද විද්‍යාලවල අඩු පාඩු විසඳීමට සහ හපුතලේ දෙමළ මහා විද්‍යාලය ජාතික පාසලක් බවට උසස් කිරීමට තීරණය කෙරුණා.

ආබාධිත රණවිරුවෙකු කළ ඉල්ලීමට අවධානය යොමු කළ රාජපක්ෂ මැතිතුමා ගම්මාන 7ක් නියෝජනය කරන මොරකැටිය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියම කර සිටියා.

කොළඹ – මඩකලපුව මාර්ගයේ කිලෝමීටර් 35 ක් වූ බෙරගල – වැල්ලවාය කොටස, කැලිපනාවෙල, හාල්කන්න මාර්ගය වැල්ලවාය දක්වා කොටස, අක්කර සියය කක්කුටුඅරාව මැද මාර්ගය, දෙහිලන්ද – අලුත්වෙල යා කරන මාර්ගය සහ අතුරු මාර්ග ඉදිකිරීම් නොපමාව නිම කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට, වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් ඉඩම් සම්බන්ධයෙන් ජනතාව ඉදිරිපත් කළ ගැටළු ගොනු කොට හිමිකම් සහ ඔප්පු දීමට පියවර ගන්නැයි ද නියම කෙරුණා.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගොවීහූ දිවයිනේ වැඩිම ගම්මිරිස් ඵලදාවකට සහ සශ්‍රීක වගාවකට උරුමය කියති. ඉන් වැඩි පිරිස කාබනික ගම්මිරිස් වගාවට යොමුව සිටිති. ඔවුන් මුහුණ පා ඇති සියලු ගැටළුවලට විසඳුම් දීමට පියවර ගන්නා ලදී.

වී, කුරුඳු, කෝපි ඇතුළු සියලු වගා කටයුතුවලදි ගොවීන්ට ඇති ගැටළු දීර්ඝ  සාකච්ඡාවට ලක්වූ අතර වන සංරක්ෂණ මැනුම් කිරීමේදී සිදුව ඇති අතපසුවීම් නිවැරදි කරන්නැයි ජනාධිපතිතුමා නියෝග කළේ.

රැස්ව සිටි කුඩා දරුවන් සිටින සියලුදෙනාගේ ගැටළුවලට හැකි උපරිමයෙන් විසඳුම් දුන් ජනාධිපතිතුමා සාකච්ඡා මණ්ඩපය නිමවීමෙන් අනතුරුව ප්‍රදේශයේ වගා බිම් සහ නිවෙස් කිහිපයකට යමින් තොරතුරු විමසා සිටියා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *