මත්ද්‍රව්‍ය කල්ලි නායකයින්ගේ දෙවැනි පෙළත් එකින් එක අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සුමීර මධුසංඛ නොහොත් ‘‘සුමීර’’ නමැත්තා කොටහේන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග‍්‍රෑම් 1 යි මිලිග‍්‍රෑම් 200 ක් ද සොයා ගැනුණු බවයි පොලීසිය පැවසුවේ.

මෙම සුමීර නමැති සැකකරු, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘‘ආමි සම්පත්’’ නමැත්තාගේ සමීපතමයෙකු බවද පොලීසිය සඳහන් කළා. 

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික වෙලේ සුදා නමැත්තාගේ සමීපතමයෙකු මීගොඩ මාදුලාව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හෙරොයින් ද සන්තකව සිටියදීයි. 

මේ අතර විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 ක් සන්තකව සිටි සැකකරුවන් 03 දෙනෙකු දික්වැල්ල, කොන්දෙණිය වත්ත සහ වලස්ගලවත්ත යන ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදීයි. සැකකරුවන් සන්තකයේ තිබූ ස්පාඤ්ඤයේ නිෂ්පාදිත ගිනිඅවියක්, රිවෝල්වර් ගිනිඅවියක්, මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනිඅවියක් සහ ජීව පතරොම් 05 ක්ද පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් භාරයට ගෙන තිබුණා.