ඥාණසාර හිමිට එරෙහි නඩුවකින් විනිසුරු දිලීප් නවාස් ඉවත් වෙයි

අධිකරණ නියෝගයක් තිබියදී ඊට පටහැනි ලෙසට ක්‍රියා කරමින් අධිකරණයට අපහාස කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීමෙන් තමා ඉවත් වන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු දිලීප් නවාස් අද (16) දැනුම් දුන්නා.


ඒ අනුව එම නඩුව ඔක්තෝබර්  මස 20 වැනි දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.  

මේ අතර දෙවන සහ තුන්වන වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇති මුලතිව් ප්‍රදේශය භාර පොලිස් නිළධාරීන් දෙදෙනකු මෙම නඩු කටයුතු වලින් මුදා හැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ පැමිණිලිකාර පාර්ශ්වය ඔවුන් මුදා හැරීමට විරෝධයක් නොදක්වන බව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුවයි.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ  මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනි ශ්‍රී ස්කන්ධරාජා විසින් ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.  

ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය එම විහාර භූමියේ නොපවත්වන ලෙස දන්වමින් මුලතිව් අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් නියෝග කර තිබියදී ඥාණසාර හිමියන් ඇතුළු තුන් දෙනෙකු එම නියෝගය කඩ කිරීමට කටයුතු කර ඇති බවට පැමිණිලිකාරිය චෝදනා කර සිටියි.