කොරෝනා මරණ ආදාහනය කිරීම අභියෝගයට ලක් කළ පෙත්සමට දින නියම කෙරේ

කොරෝනා වෛරසය  ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ  සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් ඇතුළු පාර්ශ්වයන් කිහිප දෙනෙකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් නොවැම්බර් මස 26 වැනි දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) දින ලබා දුන්නා.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරාය වෙත නොතීසි ලැබී නොමැති බැවින් ඔවුන් වෙත යළි නොතීසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

 මෙම පෙත්සමෙන් සෞඛ්‍ය  ඇමැති පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, සෞඛ්‍ය  අමාත්‍යංශ ලේකම්වරයා ,සහ නීතිපතිවරයා  වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබෙනවා.    

මෙම පෙත්සම් අද විනිසුරු සිසිර ද ආබෲ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවන ලදි.

කෝවිඩ් වසංගතයට ගොදුරු වී  මියගිය අයගේ  සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය  පිළිබඳ සඳහන් කරමින්  ඉකුත් අප්‍රේල් මස 11වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඊට අනුව මියගිය අයගෙ සිරුරු ආදාහනය කළ යුතු බව සදහන් වන බව පෙත්සම්කරුවන් පවසා සිටියි.

කෙසේවෙතත්  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති  මාර්ගෝපදේශ  මාලාව  අනුව එම සිරුරු ආදාහනය  කිරීම හෝ මිහිදන් කිරීමට හැකියි. එසේ තිබියදී  මෙරට සිදුවන  මරණ ආදාහනය කිරීම ස්ලාම් භක්තිකයන්ගෙ විස්වාසයන්ට පටහැනි බව පෙත්සම්කරුවන් පවසා සිටියි.