අඩු ආදායම්ලාභීන්ගේ රැකියා ලක්ෂයේ වැඩසටහන ඇරඹේ

දිළිඳුකම පිටුදැකීමේ අරමුණින් අඩු ආදායම්ලාභීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙළ අද සිට ආරම්භ කෙරෙනවා. ඒ, රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු ආදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණින්. මේ යටතේ දිළිඳු පවුල්වලින් තෝරාගත් පුද්ගලයින් ලක්ෂයකට මෙහිදී රැකියා ලබාදීමට නියමිතයි. මේ සඳහා රැකියාලාභීන් තෝරාගෙන ඇත්තේ සුදුසුකම් රැසක් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. 

ඒ අනුව කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අ.පො.ස සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපනික මට්ටමක සිටින නුපුහුණු ශ‍්‍රමිකයන් වීම, අයදුම්පත් කැඳවනු ලබන අවසන් දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා 45ට නොවැඩි වීම ඒ අතරින් ප‍්‍රධානයි. එමෙන්ම සමෘද්ධි සහනාධාර ලැබීමට සුදුසු එහෙත් නොලබන පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම හෝ සමෘද්ධි සහනාධාර ලබන පවුලක එහෙත් රැකියා විරහිත සාමාජිකයෙකු වීම අදාළ සුදුසුකම්වලට අයත්.

මීට අමතරව වයස්ගත, රෝගාතුර දෙමාපියන් හෝ ආබාධිත සාමාජිකයන් සිටින පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම හා අයදුම් කරන ප‍්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වීම යන සුදුසුකම් ද සම්පූර්ණ කළ යුතු වනවා.

අදාල අවම සුදුසුකම් සම්පූර්ණ කල 50,000ක පිරිසක් පළමුව මෙම වැඩසටහනට තෝරාගෙන ඇති බවයි රාජ්‍ය සේවා හා පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ ජේ රත්නසිරි පැවසුවේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *