කරූ එක්සත් ජාතික පාක්ෂිකයෙකු නොවෙයි – එජාප කෘත්‍යාධිකාරිය! සමගි ජනබලවේගයේ සාමාජිකත්වය ගන්න කරූට ආරාධනාවක්

සමගි ජනබලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සදහා දායක වන ලෙස විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හිටපු කතානායක කරු ජයසූරිය මහතාට ඇරයුම් කර ඇති බව වාර්තා වනවා. 

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට සූදානම් බවට කරු ජයසූරිය මහතා ඉකුත්දා කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් ඊයේ පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප‍්‍රකාශ වී ඇත්තේ, ඒ මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් නොවන බවයි. 

පසුගිය කාල සීමාවේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා  කරු ජයසූරිය මහතා විශාල දායකත්වයක් ලබා දුන් අතර ඔහුගේ කාර්යභාරය එක්සත් ජාතික පක්ෂය අමතක කර ඇති පසුබිමක් තුළ සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සිය පාර්ශවය හා එක්වන ලෙස එම ආරාධනාව සිදු කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ. 

මේ අතර, කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු නොවන බවට සිදු කර ඇති ප‍්‍රකාශය පදනම් විරහිත හාස්‍යජනක ප‍්‍රකාශයක් බව කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය පවසනවා. එම අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ ප‍්‍රකාශය පක්ෂ සාමාජිකත්ව ව්‍යුහය පිළිබඳව හෝ අවබෝධයකින් තොරව කරන ලද්දක් බවයි. 

මීට වසර 20 කට පෙර එක්සත් ජාතික පක්ෂයේ යාවජීව පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇති ජයසූරිය මහතාගේ පක්ෂ සාමාජිකත්වය අඛණ්ඩව බලපැවැත්වෙන බව ද එම නිවේදනයේ දැක්වෙනවා. 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සභාපති ධූරයට සමුදුන් වහාම ඉකුත් අගෝස්තු 21 වන දින පක්ෂයේ සකි‍්‍රය සාමාජිකත්වය පිණිස වාර්ෂික පක්ෂ සාමාජිකත්වය සඳහාද අයදුම් කර ඇති කරු ජයසූරිය මහතා 2020 වර්ෂය සඳහා පක්ෂ සාමාජිකත්වය ද ලබාගෙන ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. 


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *