කෘෂි අස්වැන්න වැඩි කිරීමට ජනපති අවුරුදු 02ක් දෙයි

ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා කෘෂි අස්වනු වැඩි කිරීමට කාලය එළැඹ ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ කොරෝනා හේතුවෙන් බිඳ වැටෙමින් පවතින සෙසු රටවල ආර්ථිකයන් නිරීක්ෂණය කර දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැදගත් බවයි.

ඒ සඳහා බීජ සහ පැළ නිෂ්පාදනය, පොහොර භාවිතය, කෘෂි නවෝත්පාදන පර්යේෂණ, ගබඩාකරණය සහ ප‍්‍රවාහන යන සියලූ ක්‍ෂේත‍්‍ර කෙරෙහි අවධානය යොමුකරමින් ඉදිරි වසර දෙක තුළදී ඉලක්ක සපුරාගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ඒ, වී හා ධාන්‍ය, කාබනික පොහොර, එළවළු, පළතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප‍්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

බීජ සහ පැළ නිෂ්පාදනයට නූතන තාක්ෂණය උපයෝගි කරගත යුතු අතර, ඊට අවශ්‍ය පර්යේෂණ සිදු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. ගබඩාකරණයේදී සහ ප‍්‍රවාහනයේදී වන හානිය මගහරවා ගැනීමට ගතයුතු කි‍්‍රයාමාර්ග ද මෙම සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් අවධානයට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

වසර 08ක කාලයක සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බඳවාගැනීම්  කර නොමැති බැවින් පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කර ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනයට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඉහළ ප‍්‍රමිතියෙන් යුත් පොහොර සුදුසු පරිදි භාවිතයටත්, කාබනික පොහොර භාවිතයට යොමුවීම පිළිබදවත් ප‍්‍රතිපත්තිමය තීරණයකට එළැඹීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *