ටොරින්ටන් ක්‍රීඩක නේවාසිකාගාරයට නාමල් එයි

කොළඹ ටොරින්ටන් ක‍්‍රීඩාංගණයේ සිදු කෙරෙන ප‍්‍රතිසංස්කරණ කටයුතු මෙම වසර නිමා වීමට පෙර අවසන් කිරීමට අපේක්ෂා කරන බව ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය පවසනවා.

ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂද ඉකුත්දා එහි කටයුතු නිරීක්ෂණය කළ බවයි ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත සදහන් කළේ.

මේ අතර ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ටොරින්ටන් හි පිහිටි ක‍්‍රීඩක නේවාසිකාගාරයේද ඊයේ (22) නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. එහි පවතින අඩුපාඩු හා ගැටළු සොයා බැලූ ක‍්‍රීඩා අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් දුන්නේ නේවාසිකාරයේ සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සලසන ලෙසයි.

ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පුහුණුවීම් කර, දැඩි වෙහෙසට පත් වී වී පැමිණ නිදා ගැනීමට භාවිත කරන ඇදන් දැඩි අබලන් තත්ත්වයක පවතිනවා. සෙසු පහසුකම්වල තත්වයද යහපත් මට්ටමක නොතිබූ අතර මෙම අඩුපාඩු සකස්කර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ මානසිකත්වය ඉහළට ගෙන ඒමට කටයුතු කරන ලෙසයි ක‍්‍රීඩා අමාත්‍යවරයා ක‍්‍රීඩා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.

රට වෙනුවෙන් ක‍්‍රීඩා කරන මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මව්බිම වෙනුවෙන් තමන්ගේ අනාගතයම කැපකරන බවත් ඔවුන්ව රැක බලාගැනීම ජාතියක් ලෙස අපගේ වගකීමක් බවයි නව ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙහිදී සදහන් කර තිබෙනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *