ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට – සම්පූර්ණ විදුලි ආවරණය ලබා දීම ස්වල්ප මොහොතකින්

ප‍්‍රදේශ කිහිපයක විදුලි සැපයුම මේවනවිටත් යථාතත්ත්වයට පත්කර ඇතැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

මෙම විදුලි සැපයුම බිඳවැටීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට ද මේවනවිට උපදෙස් ලබාදී ඇතැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කළා. ඒ අනුව එම කමිටුව හෙට උදෑසන 08.30 ට රැස්වීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙරවලපිටිය ගී‍්‍රඞ් උපපොළේ අද පස්වරු 12 යි 35 ට පමණ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙලෙස දිවයින පුරා විදුලි සැපයුම බිඳවැටුණු බව විදුලිබල අමාත්‍යංශය සඳහන් කළා.

කෙසේවෙතත් විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් නෙත් නිවුස් වෙත පැවසුවේ දිවයින පුරා පිහිටි සියලූ විදුලිබලාගාර අකී‍්‍රය වූ බවයි. දිවයින පුරා මෙවැනි විදුලි බිඳවැටීමක් සිදුවුණේ 2016 වසරින් පසු පළමුවරට බව ද ඔහු සඳහන් කළා.

මේ අතර දිවයින පුරා විදුලි සැපයුම බිඳවැටීමත් සමග ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුමට ද බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර විදුලි බල සැපයුම අකී‍්‍රයවීමත් සමග අද පස්වරුවේ සිට මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් ද දක්නට ලැබෙන බව පොලීසිය පවසනවා. විදුලි සැපයුම බිඳවැටී ඇති බැවින් මාර්ගවල පිහිටි මාර්ග සංඥා පද්ධති ද අකී‍්‍රය වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර විදුලිබල සැපයුම යථාතත්ත්වයට පත් කිරීමට තවදුරටත් කල්වේලා ගතවුවහොත් දුම්රිය මාර්ගා ආශි‍්‍රත සංඥා පද්ධති ද බිඳවැටීමකට ලක්විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව ද පවසනවා. කෙසේවෙතත් මේවනවිට දුම්රිය ධාවන කටයුතු බාධාවකින් තොරව සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මාතර ඇතුළු ප‍්‍රදේශ කිහිපයක විදුලි බල සැපයුම මේවනවිට යථාතත්ත්වයට පත්ව ඇතැයි නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළා.