ප‍්‍රතිපත්ති දේශපාලනය පරාදයි: ඉදිරියේදී රට අවුල් වේවි… එජාපය නිවේදනය කරයි

ප‍්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලන පක්‍ෂ අභිබවා යන්නට දේශපාලන ව්‍යාපාර මෙවර මැතිවරණයේදී සමත්ව ඇති බැවින් ඉදිරියේදී රටේ අවුල් සහගත දේශපාලන තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබෙන බව එජාපය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
 එජාප මහලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
 
 2020 පාර්ලිමේන්තු මැතිවරණය සාර්ථක අන්දමින් පැවැත්වීම පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂය සිය කෘතවේදීත්වය ජාතික මැතිවරණ කොමිසම වෙත පළ කර සිටී. සාධාරණ සහ සාමකාමී අයුරින් මෙම මැතිවරණය පැවැත්වීම තහවුරු කරන ලද්දේ අපගේ ආණ්ඩුව විසින් හඳුන්වා දුන් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා කැප වූ රාජ්‍ය නිලධාරීන්ටත් ති‍්‍රවිධ හමුදාවටත් ශී‍්‍ර ලංකා පොලිසියටත් එක්සත් ජාතික පක්‍ෂය සිය ස්තුතිය පළ කර සිටී.
 
 කොවිඞ් 19 වසංගතය මැතිවරණයට බලපෑ අතර එය අපගේ ආර්ථිකය ද විනාශ කරන්නට දායක විය. දේශීය ආර්ථිකය පණගැන්වීමට සහ ශක්තිමත් කිරීමට මෙම මැතිවරණයේදී වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්‍ෂය පමණයි. මෙම අසීරු අවස්ථාවේදී එක්සත් ජාතික පක්‍ෂය සමග තවදුරටත් රැුඳී සිටි සියලූ ආදරණීය එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට එක්සත් ජාතික පක්‍ෂයේ ගෞරවනීය කෘතවේදිත්වය පළ කරමු.
 
 මෙම මැතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අති විශාල ජනවරමක් ලබා ඇති අතර එක්සත් ජාතික පක්‍ෂය සිය පාලන කාලය තුළ රටටත් ජනතාවටත් දිගුකාලීන වශයෙන් බලපවත්නා බොහෝ දේ ඉටුකළ ද විශාල පරාජයක් ලබා ඇත. පක්‍ෂයක් ලෙස අපි අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරින් පැමිණි අභියෝගවලට මුහුණ දුන්නෙමු. අපි අපගේ මෙන්ම අනෙක් අයගේ අසාර්ථක වීම්වල මෙන්ම අඩුපාඩුවලද වගකීම භාර ගන්නෙමු.
 
 මෙම මැතිවරණයේදී ප‍්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලන පක්‍ෂ අභිබවා යන්නට දේශපාලන ව්‍යාපාර සමත්වී ඇත. මේ නිසා ඉදිරියේදී රටේ අවුල් සහගත දේශපාලන තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබේ.
 
 මැතිවරණයේ ප‍්‍රතිඵල සාමකාමීව භාර ගන්නා ලෙස සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටිමු. මින් පෙර අවස්ථා වලදී ද කළ පරිදි එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රති සංවිධානය හා ප‍්‍රතිව්‍යුහගත කර නව ජවයකින් හා ශක්තියකින් ඉදිරියට යන්නට කටයුතු කරන්නෙමු.