සම්පායෝට විශේෂ සැලකිලි

රක්ෂිත බන්ධනාගාරගත කළ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ අද (04) අධිකරණයට යළි ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊයේ (03) රාත‍්‍රියේ ඔහු දුම්බර පිහිටි බෝගම්බර බන්ධනාගාරයට රැගෙන ආ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

බෝගම්බර බන්ධනාගාරයට රැගෙන ඒමටත් පෙර අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් පහසුකම් සහිත කාමරයක් එහි සකසා තිබු බව ද බන්ධනාගාර ආරංචි පැවසුවා.

එම කටයුතු සම්පාදනය කර ඇත්තේ ද එම බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකු විසින්. බන්ධනාගාරයට පැමිණෙන රැඳවියන් නිරෝධායනය සඳහා වෙන් වෙන්ව රඳවා තැබෙන අතර ඔවුන්ට විශේෂ පහසුකම් හිමිවන්නේ නැහැ. එහෙත් අනුරුද්ධ සම්පායෝට එම බන්ධනාගාරයේ වෙනම කාමරයක් ලබාදී ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

එම කාමරය ඇඳක්, මෙට්ටයක්, පුටුවක් මෙන්ම විදුලි උපකරණ කිහිපයකින් ද සමන්විතයි. ඔහුට පහසුකම් සැපයීමට කටයුතු කළ දුම්බර පිහිටි බෝගම්බර බන්ධනාගාරයේ උසස් නිලධාරීන් දෙදෙනා, අනුරුද්ධ සම්පායෝගේ පරිහරණයට අවශ්‍ය පිඟන් භාණ්ඩ ද සපයා තිබෙනවා.

ඒ, එම බන්ධනාගාරයේ නිලධාරීන්ගේ සුබ සාධක සංගමයේ අලෙවි සැලෙන් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ, බූස්ස බන්ධනාගාරයේ වෙනම රඳවා තැබීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම පිළිබඳ බොහෝ දෙනාගේ කතා බහට ද ලක්ව තිබෙනවා.

මේ අතර මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඉකුත් දා මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනුණේ කුරුණෑගල ප‍්‍රදේශයේදීයි. ඒ අනුව කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ පොලිස් ස්ථාන 11 ක් පමණ පිහිටා තිබියදී, කිලෝ මීටර් 72 ක් පමණ දුරගෙවා අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් කුරුණෑගල ප‍්‍රදේශයට ගිය හේතුව පිළිබඳ අද දිනයේදී අධිකරණය හමුවේ කරුණු අනාවරණ කරන බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊයේ අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *