නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් වරායේ සේවකයින් යළි සටනට.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කර ඇති වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය අද (30) දහවල් සිට දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

වාණිජ කර්මාන්ත හා සේවා ප‍්‍රගතිශීලි සංගමයේ ප‍්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ පවතින ගැටළු කිහිපයක් පිළිබද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡාවක් ලබාදෙන තුරු තමන් සත්‍යග‍්‍රහයේ නිරත වන බවයි.

කොළඹ වරායේ වෘත්තීය සමිති 23 ක් එක්ව සිටින මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගයේ අරමුණ පිළිබදවද මෙහිදී විස්තර කෙරුණා.

එහිදී, නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට තැත් කිරීම ප්‍රධාන හේතුව බවයි ප්‍රකාශ කෙරුණේ.

ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායකගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු සදහන් කර තිබෙන්නේ ඉකුත් රජය සමයේ ඇති කර ගෙන තිබෙන රාජ්‍ය තාන්ති‍්‍රක ගිවිසුම නිරාකරණය කර ගැනීමට තවත් කාලය අවශ්‍ය බවයි.

මෙරටට ගෙන්වූ දොඹකර නැගෙනහිර පර්යන්තයට ගොඩබෑම සිදු නොකිරීමට විරෝධය පළ කරමින් වරාය වෘත්තීය සමිති මීට පෙරද විරෝධතාවක නිරත වුණා. පසුව එම දොඹකර නැගෙනහිර පර්යන්තයට ගොඩබෑම සිදු කෙරුණා.