ශ්‍රේණි කිහිපයක් සඳහා පාසල් අද යළි ඇරඹේ

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දෙවන වරටත් තාවකාලිකව වසා දැමුණු පාසල් අද (27) සිට යළි විවෘත කෙරෙනවා.

ඒ අනුව 11, 12 සහ 13 ශ්‍රේණිවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු පමණක් සෞඛ්‍ය රෙගුලාසිවලට යටත්ව අද සිට යළි ආරම්භ කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු පෙරවරු 07.30 සිට පස්වරු 03.30 දක්වා සිදු කෙරෙනවා. මේ අතර පළමු ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා දරුවන්ගේ අධ්‍යයන කටයුතු අගෝස්තු මස 10 වැනිදා සිට ආරම්භ කිරීමට මේවනවිට අවධානය යොමුව ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර සඳහන් කළා. 

මේ අතර පාසල් යළි විවෘත කිරීමට තීරණය කළ ද අධ්‍යාපන අමාත්‍යංශය විසින් මේ වනතෙක් විධිමත් උපදෙස් මාලාවක් නිකුත් කර නොමැති බවට ගුරු සංගම් චෝදනා කරනවා. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කරන්නේ ගුරුවරු සියලු දෙනා කැඳවන්නේ ද නැද්ද යන්න පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය විදිමත් උපදෙස් තවමත් පැහැදිළි කර දී නොමැති බවයි. 

මේ අතර එළඹෙන මහ මැතිවරණයේ කටයුතු සඳහා යොදා ගන්නා සියලූ පාසල්වල විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් හෙට සිට 31 වැනිදා දක්වා එම පාසල් තුළ රැඳී සිටිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

එම කාලය තුළ සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන අයුරින් මැතිවරණ කටයුතු පවත්වාගෙන යන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ.