අසත්‍ය ප්‍රචාරයකට මහ බැංකුවෙන් පිළිතුරු

අමෙරිකාවේ නිව්යෝර්ක් ෆෙඩරල් බැංකුව සමග යෝජිත ප‍්‍රති මිලදී ගැනුම් ගිවිසුමට අදාළව අමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක් වටිනා සුරැකුම්පත් ඇපයට තබා ශ‍්‍රී ලංකාව ඩොලර් බිලියනයක ණයක් ලබාගැනීමට යන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ‍්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ අවශ්‍ය අවස්ථාවලදී එක්සත් ජනපද ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමට යොදාගැනීමේ තාවකාලික මූලාශ‍්‍රයක් වශයෙන් අමෙරිකාවේ නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව සමග ඉකුත් දා ගිවිසුමකට එළඹුනු බවයි.

ඒ, විදේශීය සහ අන්තර්ජාතික මූල්‍ය අධිකාරීන් සඳහා වූ එක්දින ප‍්‍රතිති මිලදී ගැනුම් පහසුකමක් වශයෙන්.

ලොවපුරා බොහෝ මහ බැංකු සිය කෙටිකාලීන ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමේ ක‍්‍රමවේදයක් ලෙස මෙම පහසුකම භාවිත කරන බවයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ. සිය දීර්ඝ කාලීන විදේශීය විනිමය ආයෝජන කළඹ පිළිබඳ හදිසි ව්‍යූවහමය වෙනස්කම් සිදුකිරීමකින් තොරව අවශ්‍ය අවස්ථාවන්වලදී කෙටිකාලීන අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීමට මහ බැංකුවට එමගින් ඉඩ සැලසෙනවා.

ඕනෑම අවස්ථාවකදී අදාළ පහසුකම්වලින් ඉවත්වීමේ අයිතිය ශ‍්‍රී ලංකා මහ බැංකු අභිමතය යටතේ පවතින බවයි ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනය මගින් දක්වා ඇත්තේ. ශ‍්‍රී ලංකා මහ බැංකුව ෆෙඩරල් සංචිත බැංකුව සමග මෙම ගිවිසුමට එළඹ සිටියද කිසිඳු ණය ගැනීමක් තවමත් සිදුකර නොමැති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.