අයහපත් කාලගුණය රට පුරා!

පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 12 තුළද තවදුරටත් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (20) උදෑසන කාලයේ සිට ප‍්‍රදේශ රැසකට අධික වර්ෂාපතනයක් ඇදහැලෙන්නේ කිසිවෙකුත් අපේක්‍ෂ නොකළ අයුරින්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබුණේද මිලිමීටර් 100 වර්ෂාපතනයක් ඇද හැළෙනු ඇති බවටයි. එහෙත් බොහෝ ප‍්‍රදේශවලට මිලිමීටර් 100ත් 220 ත් අතර අධික වර්ෂාපතනයක් ඇදහැළුණා.නිරිත දිග මෝසම් සමය මේ වන විට බලපැවැත්වෙන බැවින් මෙම තත්ත්වය ඇති වී තිබෙන බව සදහන්.

අද පෙරවරු 8.00 අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වන්නේ දෙහිඕවිට ප‍්‍රදේශයෙන් බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එම අගය සඳහන් වන්නේ මිලිමීටර් 219 ක් ලෙසයි.

ගාල්ල හියාරේ ප‍්‍රදේශයෙන් මිලිමීටර් 160 ක්ද ඇත්කදුර ප‍්‍රදේශයෙන් මිලිමීටර් 137.5 ක අගයක් වාර්තා වනවා. කළුතර මීගහතැන්නෙන් මිලිමීටර් 117 ක ද රත්නපුර පරකඩුවෙන් මිලිමීටර් 106 ක ද වර්ෂාපතනයක් වාර්තා වුණා.

ඉකුත් පැය 24 ක කාලය තුළ මිලිමීටර් 75 කට අධික වර්ෂාපතනයක් පැවතීම හේතුවෙන් දිස්ති‍්‍රක්ක 5 කට නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම දිස්ති‍්‍රක්ක වන්නේ කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ලයි.

මේ අතර හපුතලේ නගරය හා ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශ වලට අද පෙරවරුවේ සිට අධික මීදුම් තත්ත්වයක් පවතින බැවින් විමසිලිමත් ලෙස රථ වාහන ධාවනය කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. කොළඹ-බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල බෑවුම් සහිත මාර්ග කොටසේ ද මෙම මීදුම් තත්ත්වය දක්නට ලැබෙනවා. කෙසේවෙතත් අධික වර්ෂාපතනයක් ඇදහැළුණද ප‍්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉහළ යාමක් පෙන්නුම් නොකරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.