මර්වින් සිල්වාගේ ඡන්ද වැඩට සල්ලි ඉල්ලා ව්‍යාපාරිකයාට මරණ තර්ජන! මාලක සිල්වා අත්අඩංගුවට ගන්න පරීක්‍ෂණ!

තම පියාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා මුදල් ලබාදෙන ලෙස කියමින් බත්තරමුල්ල ප‍්‍රදේශයේ මත්ස්‍ය ව්‍යාපාරිකයකුට මරණීය තර්ජන එල්ල කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාලක සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
 
 මෙම සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය මගින් කඩුවෙල අධිකරණය වෙත ඊයේ (17 වැනිදා) කරුණු වාර්තා කර තිබේ සැකකාර මාලක සිල්වා ව්‍යාපාරිකයාගෙන් මුලින්ම රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බව පොලිසිය පවසයි.
 
 තලංගම පොලිසිය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ මසුන් අපනයනය කරන ව්‍යාපාරයක් පවත්වාගෙන යන බත්තරමුල්ල ප‍්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයකු විසිනි.
 
 මෙම ව්‍යාපාරිකයා සහ මාලක සිල්වා සමීප මිතුරන්ය ඉකුත් ජුනි මස 09 වැනිදා මාලක සිල්වා තම මිතුරාට දුරකථනයෙන් කතා කර පියාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් ඉල්ලා ඇත.
 
 මේ දිනවල කොරෝනා වෛරසය හේතුවෙන් තම ව්‍යාපාරය පාඩු ලබන බව පවසමින් ටික කලකින් මුදල් ලබා දෙන බව ව්‍යාපාරිකයා මාලක සිල්වාට පවසා තිබේ.
 
 එහෙත් මාලක සිල්වා දිගින් දිගටම මෙම ව්‍යාපාරිකයාට දුරකථනයෙන් කෙටි පණිවිඩ මගින් සහ වට්ස්ඇප් දුරකථන මාර්ගයෙන් කථා කරමින් පියාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා මුදල් ලබාදෙන ලෙස කියමින් තර්ජනය කර ඇත.
 
 ව්‍යාපාරිකයා මුදල් ලබා නොදීම නිසා කෝපයට පත් මාලක සිල්වා ඉකුත් 15 වැනිදා දුරකථනයෙන් කතාකර මුදල් ලබා නොදුනහොත් මරා දමන බවට තර්ජනය කර තිබේ’
 
 මෙම තර්ජනවලට බියවීම නිසා ව්‍යාපාරිකයා මේ පිළිබඳව පෙරේදා (16 වැනිදා) රාත‍්‍රියේ තලංගම පොලිසිය වෙත පැමිණිලි කර ඇත.
 
 මේ සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිිසිය පුඵල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මාලක සිල්වා යන අය අත්අඩංගුවට ගැනීමට වෙනම කණ්ඩායමක් යොදවා තිබේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *