නිලධාරිනියකට කොරෝනා: හෝමාගම එස්.පී. කාර්යාලයේ 31ක් නිරෝධායනයේ

හෝමාගම පොලිස් අධිකාරි කාර්යාලයේ රාජකාරි කරන පොලිස් නිලධාරිනියකට කොරෝනා රෝගය ආසාදනය වීම නිසා එම කාර්යාලයේ රාජකාරි කළ පොලිස් අධිකාරිවරයකු” සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු නිලධාරීන් 31 දෙනකු නිරෝධායන මධ්‍යස්ථාන දෙකකට ඊයේ  (17 වැනිදා* ඇතුළත් කර ඇත.

හෝමාගම පොලිස් අධිකාරි කාර්යාලයේ නිලධාරීන්ගෙන් 18 දෙනකු අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානයටත්” තවත් 13 දෙනකු හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයටත් ඇතුළු කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

මෙම පොලිස් අධිකාරි කාර්යාලයේ රාජකාරි කරන පොලිස් කාන්තාවට කොරෝනා රෝගය ආසාදනය වී ඇත්තේ ඇයගේ හමුදා නිලධාරියකු වන පුත‍්‍රයාගෙන් බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රාජකාරි කරමින් සිටි එම හමුදා නිලධාරියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ එම නිරෝධායන මධ්‍යස්ථානයෙන් ය.

හෝමාගම පොලිස් අධිකාරි කාර්යාලයේ රාජකාරි කරන පොලිස් නිලධාරිනිය පසුගිය දින කීපයේම රාජකාරි සඳහා පැමිණ ඇති අතර ඇගේ පුත‍්‍රයාට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු ඇය ද පී.සී.ආර්. පරීක්‍ෂණයකට ලක්කර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ එම පොලිස් නිලධාරිනියට ද වෛරසය ආසාදනය වී ඇති බවයි.

මේ වන විට පොලිස් නිලධාරිනිය මිනුවන්ගොඩ රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර ඇගේ පුත‍්‍රයා වන හමුදා නිලධාරියා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.