වැරදි තැන නතර කලොත් අද සිට දඩ!

පදික වේදිකාවේ සහ අනවසර ස්ථානවල නවතා තැබෙන යතුරු පැදි සහ වාහන සම්බන්ධයෙන් අද (17) සිට නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා.

ඒ සම්බන්ධයෙන් මෙහෙයුම් ද අද සිට කි‍්‍රයාත්මක කරන බවයි පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නෙත් නිවුස් වෙත පැවසුවේ.

පදික වේදිකාවේ සහ අනවසර ස්ථානවල රථවාහන නවතා තැබීම සම්බන්ධයෙන් මෝටර් වාහන පනත සහ මංමාවත් පනත යටතේ කටයුතු කිරීමට හැකියාව පවතිනවා. ඒ අනුව එවැනි වරදකට අධිකරණය හමුවේ වරදකරු වුවහොත් රුපියල් 50,000 දක්වා දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බවයි පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර පොදු ප‍්‍රවාහන සේවා සපයන ලංගම, පෞද්ගලික බස් රථ සහ දුම්රිය තුළ සිගමන් යැදීම ද මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය විසින් තහනම් කර තිබෙනවා. ඒ, කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමේ පියවරක් ලෙසයි.

ඒ අනුව පොදු ප‍්‍රවාහන සේවා සපයන ලංගම හා පෞද්ගලික බස්රථ සහ දුම්රිය තුළ සිගමන් යදින යාචකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් ද යොදවා සිටිනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *