පාතාලය මඩින විශේෂ මෙහෙයුම

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය යළි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටම අළෙවි කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් සමීපව ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සදහන් කළේ ප‍්‍රධාන අංශ 3 ක් යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව විමර්ශන සිදුකරන බවයි.

සැකකරුවන් සන්තයේ තිබූ අවි ආයුධ මෙන්ම ඔවුන් අළෙවි කළ හෙරොයින් සොයා මෙහෙයුම් සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවා.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය යළි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත් කිරීම සදහා සම්බන්ධ වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනයටද සහය දි ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. මූලික පරීක්‍ෂණයේදී හෙළි වී ඇත්තේ මත්කුඩු කිලෝ 130 ක් ප‍්‍රවාහනය කිරීිමට ඔවුන් සහය දී ඇති බවයි.

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය යළි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටම අළෙවි කිරීමේ චෝදනාව යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් 15 දෙනෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ජාවාරමට සම්බන්ධ සිවිල් පුද්ගලයින් තිදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.