විග්නේෂ්වරන්ට විරෝධය.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන සභාව විසින් සංවිධාන කළ එළුග තමිල් විරෝධතාවයට දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් කිසිදු සහයක් ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ඔවුන් හඬක් නැගූව ද ඊට දේශපාලනික වශයෙන් සහයක් ලබා දීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් නොමැති බවයි.

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සහ උතුරේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සහ රජය අතර මේ වනවිට සාකච්ඡා ආරම්භ වී තිබෙනවා. ඒවා ඉතා සාර්ථක මට්ටමක පවතින බවයි එම්. ඒ. සුමන්තිරන් මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ.

එවැනි අවස්ථාවක එළුග තමිල් නමින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කිරීම සුදුසු නොවන බව දෙමළ ජාතික සන්ධානය විසින් දෙමළ මහජන සභාවේ නායක සී. වී. විග්නේෂ්වරන්ට දැනුම් දුන්න ද ඔහු එය නොතකා කටයුතු කළ බව මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙම විරෝධතාවය නිසා දෙමළ ජාතික සන්ධානය පිළිබඳව දකුණේ ජනතාව තුළ අනවබෝධයක් ඇති වී තිබෙනවා. එය මෙවැනි අවස්ථාවක දෙමළ ජාතික සන්ධානයට අවාසි සහගත බවයි එම්. ඒ. සුමන්තිරන් මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ.

රජය සමග දැනට පවත්වා ඇති සාකච්ඡාවලින් උතුරේ ජනතාවගේ ගැටළුවලට පිළිගත හැකි මට්ටමේ විසඳුම් රැසක් ලැබී තිබෙනවා.

එම නිසා එවැනි අවස්ථාවක විරෝධතා ව්‍යාපාරවලට සම්බන්ධ නොවී සාකච්ඡා මාර්ගයෙන් ඉල්ලීම් දිනා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම වඩා වැදගත් බවයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් වැඩිදුරටත් අවධාරණය කළේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *