නාමල් ඇතුළු හයක්‌ සැකකරුවෝ වෙයි.

අයථා ලෙස උපයා ගන්නා ලද මුදල්වලින් හෙල්කෝප් සමාගමේ කොටස්‌ මිලදී ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා ඇතුළු ඔහුගේ මිතුරු මිතුරියන් හයදෙනකු සැකකරුවන් වන බවට නීතිපතිවරයාගෙන් උපදෙස්‌ ලැබී ඇතැයි මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ඊයේ (28 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට වැඩිදුර වාර්තාවක්‌ ගොනුකරමින් දැනුම් දුන්නේය.

කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා හමුවේ අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී පරීක්‍ෂණයේ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක්‌ ගොනු කරමින් මේ බව දන්වා සිටි මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මුදල් විශුද්ධිකරණ පනත යටතේ පරීක්‍ෂණ සිදු කරන බවත් මෙහිදී සැක කටයුතු සමාගම සිදුකර ඇති ගනුදෙනු පිළිබඳව තවදුරටත් පරීක්‍ෂණ සිදු කරන බවත් පැවසුවේය.

නාමල් රාජපක්‌ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිය නිල බලය යොදා ගනිමින් අති විශාල මුදල් ප්‍රමාණයක්‌ අයථා ලෙස උපයාගෙන ඇති බවට ලද පැමිණිල්ලක්‌ අනුව මෙහි පරීක්‍ෂණ පවත්වන බව දන්වා සිටි මූල්‍ය අපරාධ කොට්‌ඨාසය එසේ උපයාගත් මුදලින් කොටසක්‌ යොදා ගනිමින් “හෙල්කෝප්” නමැති පුද්ගලික ආයතනය මිලදීගෙන ඇති බවත්, එකී සමාගම එයාර්ලංකා සමාගමට පූර්ණව සම්බන්ධ වී සේවා සැපයීම් සිදුකරන ආයතනයක්‌ බවත් කියා සිටියේය.

නාමල් රාජපක්‌ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටිමින් රජය සමඟ වෙළෙඳ ගිවිසුම් අත්සන් කර ඇති බව කියා සිටි මූල්‍ය අපරාධ කොට්‌ඨාසය හෙල්කෝප් සමාගමේ අයිතිය ලබාගෙන ඇති ගවර්ස්‌ කෝපරේට්‌ සර්විස්‌ සමාගමේ පූර්ණ අයිතිකරු නාමල් රාජපක්‌ෂ මහතා බවද ඔහු විසින් හෙල්කෝප් සමාගමේ අයිතිය ලබා ගැනීමට රුපියල් මිලියන 100 කට අධික මුදලක්‌ යොදවා ඇති බවද පැවසුවේය.

නාමල් රාජපක්‌ෂ මහතා අයථා ලෙස උපයා ගන්නා ලද විශාල මුදල් ප්‍රමාණයක්‌ යොදවාගෙන තවත් දේපළ මිලදී ගැනීම් සිදුකර ඇති බවද පැවසූ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මෙම මූල්‍ය වංචාවට අදාළව සිදුකළ පරීක්‍ෂණවල ප්‍රගතිය දැනුම්දී නීතිපති උපදෙස්‌ ලබා ගැනීමට කටයුතු කළ බවද පැවසුවේය.

ඒ අනුව එකී සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන නාමල් රාජපක්‌ෂ මහතා හා එහි අධ්‍යක්‍ෂවරුන් වන ඉන්දික ප්‍රභාත් කරුණාජීව, පවිත්‍රා සුජානි බෝගොල්ලාගම, නිත්‍යා සේනානි සමරනායක, සුදර්ශන බණ්‌aඩාර ගනේගොඩ හා ඉරේෂා සිල්වා යන අය සැකකරුවන් ලෙස නම් කළ හැකි බවට නීතිපතිවරයා උපදෙස්‌ ලබාදී ඇති බවත්, මුදල් විශුද්ධිකරණ පනත අනුව පරීක්‍ෂණ පවත්වා මෙහිදී නාමල් රාජපක්‌ෂ මහතාට අයිති ඉහත නම් සඳහන් සමාගම් කරන ලද සැක කටයුතු ගනුදෙනු පිළිබඳව තවදුරටත් විමර්ශන පවත්වන බවත් කියා සිටි මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැති අය රට හැරගොස්‌ ඇති බවට හෙළිවී ඇති නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නියෝගයක්‌ නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස නම්කර ඇති ඉන්දික ප්‍රභාත් කරුණාජීව යන අයව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නියෝගයක්‌ නිකුත් කරමින්, සිද්ධියට අදාළව සිදුකරන පරීක්‍ෂණයේ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක්‌ ලබන සැප්තැම්බර් මස 01 දා ගොනුකරන ලෙසට නියෝග කළේය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *