පාද යාත්‍රාවට වාරණ 2ක්‌ එජාපයටත් දෙක වෙනකන් නුවර බෑ.

 

 

ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව මහනුවර සහ මාවනැල්ල නගරවලට ඇතුළුවීම තහනම් කරමින් මහනුවර සහ මාවනැල්ල ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරුන් විසින් ඊයේ (27 වැනිදා) වාරණ නියෝග දෙකක්‌ නිකුත් කරන ලදී.

මේ අතර එක්‌සත් ජාතික පක්‍ෂය විසින් මහනුවර නගරයේ පැවැත්වීමට නියමිත නවක සාමාජිකයන් බඳවා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහන අද (28 වැනිදා) සවස 2.00 න් පසුව පැවැත්වීමට ද මහනුවර මහෙස්‌ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා විසින් නියෝග කර ඇත.

මහනුවර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා සහ මාවනැල්ල පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පාද යාත්‍රාව නගරයට ඇතුළුවීම තහනම් කරමින් මෙම නියෝගයන් ලබා දී තිබේ.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරන පාද යාත්‍රාව හෙට දිනයේ මහනුවර නගරයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර එක්‌සත් ජාතික පක්‍ෂයේ නවක සාමාජිකයන් බඳවා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහන ද හෙට දිනයේ ම මහනුවර නගරයේ පැවැත්වීමට නියමිතව තිබේ.

එක්‌සත් ජාතික පක්‍ෂයේ සහ ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයන් අතර ගැටුම්කාරී තත්ත්වයක්‌ උද්ගතවීමට ඉඩ ඇති බැවින් පාද යාත්‍රාව නතර කරන ලෙස ඉල්ලමින් මහනුවර පොලිසිය අධිකරණයෙන් මෙම වාරණ නියෝගය ඉල්ලා තිබිණි.

ඒ අනුව මහජන සාමය ආරක්‍ෂා කිරීමේ අරමුණෙන් මහනුවර මහෙස්‌ත්‍රාත්වරයා විසින් මෙම වාරණ නියෝගය ක්‍රියාත්මක කරන ලදී

ඒකාබද්ධ විපක්‍ෂය සිය පාද යාත්‍රාව ආරම්භ කිරීමට පෙර මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට ආගමික වතාවත් පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඊට අධිකරණය මගින් කිසිදු බාධාවක්‌ කර නොමැත.

අධිකරණය ලබාදුන් මෙම නියෝගය පොලිසිය විසින් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් වන දිලුම් අමුණුගම, කෙහෙළිය රඹුක්‌වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ සහ ලොහාන් රත්වත්ත යන මහත්වරුන් වෙත ලබා දී ඇත.

ඒ අතර මෙම අධිකරණ නියෝගය එක්‌සත් ජාතික පක්‍ෂයේ ඇමැතිවරුන් වන කබීර් හෂීම් සහ ලක්‍ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් වෙත ද ලබා දී තිබේ.

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරන පාද යාත්‍රාව මාවනැල්ල නගරයට ඇතුළුවීම වළක්‌වාලමින් මාවනැල්ල මහෙස්‌ත්‍රාත් එල්. කේ. මහින්ද මහතා විසින් ඊයේ තවත් වාරණ නියෝගයක්‌ නිකුත් කරන ලදී.

මහනුවරින් ආරම්භ කරන පාද යාත්‍රාව හෙට (29 වැනිදා) මාවනැල්ල නගරය හරහා ගමන් කිරීමට නියමිතව තිබිණි. අධිකරණ නියෝගය අනුව මාවනැල්ල නගරය හරහා පාද යාත්‍රාව ගමන් නොකර ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය එම පාද යාත්‍රාව සංවිධානය කරන ඒකාබද්ධ විපක්‍ෂය වෙත දැනුම් දී ඇත.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් මහනුවරින් ආරම්භ කරන පාද යාත්‍රාව හෙට මාවනැල්ල නගරය පසු කිරීමට නියමිතය. එක්‌සත් ජාතික පක්‍ෂයේ නවක සාමාජිකයන් බඳවා ගැනීම සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වීම් මාලාවක්‌ හෙට මාවනැල්ල නගරයේ පැවැත්වීමට ද නියමිතය.

ඒකාබද්ධ විපක්‍ෂයේ සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ ආධාරකරුවන් මාවනැල්ල නගරයට එකම අවස්‌ථාවේ රැස්‌ වූවොත් දෙපාර්ශ්වය අතර ගැටුමක්‌ ඇති වීමට ඉඩ ඇති බැවින් මහජන සාමය ආරක්‍ෂා කිරීම සඳහා මෙම පෙළපාලිය නතර කරන ලෙස මාවනැල්ල පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා අධිකරණයෙන් ඊයේ ඉල්ලීමක්‌ කරන ලදී. පාද යාත්‍රාව මාවනැල්ල නගරයට ඇතුළුවීම තහනම් කරමින් අධිකරණය මෙම වාරණ නියෝගය ලබා දී ඇත්තේ පොලිසිය කළ එම ඉල්ලීමට අනුවය.

අධිකරණය වෙත කරුණු දැක්‌වීම සඳහා නියෝජ්‍ය පොලිස්‌පති නීතිඥ අජිත් රෝහණ මහතා මහනුවර අධිකරණය හමුවේ පෙනී සිටි අතර පොලිස්‌ අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා මාවනැල්ල අධිකරණය හමුවේ පෙනී සිට ඇත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *