“ජන සටන” පාද යාත්‍රාව අද

ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කෙරෙන “ජන සටන” පාද යාත්‍රාව අද (28 දා) පෙරවරු 9.00 ට මහනුවර ගැටඹෙන් ආරම්භ කිරීමට පාද යාත්‍රා සංවිධායක කමිටුව කටයුතු යොදා තිබේ.

මෙම පාද යාත්‍රාව මහනුවර දළදා මාලිගාව අබියසින් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබුණත් අධිකරණ නියෝගයක්‌ හේතුවෙන් එය ගැටඹෙන් ආරම්භ කෙරෙන බව පාද යාත්‍රා සංවිධායක කමිටු ප්‍රකාශකයෙක්‌ පැවසීය. ව්‍යවස්‌ථා මර උගුලට, පළාත් පාලන ඡන්දය කල්දැමීමට, ජනතාව මත අසීමිත බදු බර පැටවීමට, විශේෂ යුද අපරාධ අධිකරණයට, එට්‌කා ගිවිසුමට, ගොවි සහන කප්පාදුවට, දේශපාලන විරුද්ධවාදීන් දඩයමට, මාධ්‍ය මර්ධනයට එරෙහිව මෙම පාද යාත්‍රාව පවත්වන බව සංවිධායකයෝ කියති.

ගැටඹෙන් ආරම්භ වන පාද යාත්‍රාව අගෝස්‌තු 1 වැනිදා කොළඹට ළඟාවීමට නියමිතය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සියලු පක්‍ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් පාද යාත්‍රාව ආරම්භ වේ.

ජන සටන පාද යාත්‍රාවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම, මහජන එක්‌සත් පෙරමුණ, ලංකා සම සමාජ පක්‍ෂය, ජාතික නිදහස්‌ පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, දේශ විමුක්‌ති ජනතා පක්‍ෂය, කොමියුනිස්‌ට්‌ පක්‍ෂය, ශ්‍රී ලංකා මහජන පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ජනතා සේවක පක්‍ෂය යන පක්‍ෂවල නායකයන්ගේ හා එම දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති සංවිධාන, බහුජන සංවිධාන හා මහජනතාව සහභාගි වන බව පාද යාත්‍රා සංවිධායකයෝ පවසති.

පාද යාත්‍රාව පළමු දිනය අද පෙරවරු 9.00 ට මහනුවර ගැටඹෙන් ආරම්භ වී මාවනැල්ල නගරය දක්‌වාත් දෙවැනි දිනය වන 29 වැනිදා (හෙට) මාවනැල්ල සිට නෙළුම්දෙණිය නගරය දක්‌වාත් තෙවැනි දිනය වන 30 වැනිදා නෙළුම්දෙණිය නගරයේ සිට නිට්‌ටඹුව නගරය දක්‌වාත්, සිව්වැනි දිනය වන 31 වැනිදා නිට්‌ටඹුවේ සිට කිරිබත්ගොඩ නගරය දක්‌වාත් පස්‌වැනි දිනය වන අගෝස්‌තු 1 වැනිදා කිරිබත්ගොඩ නගරයේ සිට කොළඹ නගරය දක්‌වාත් ගමන් කරනු ඇත.

පාද යාත්‍රාව ආරම්භ කිරීමට පෙර ඊයේ (27 දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රධාන ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් වන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්‌කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්‌ස විතාරණ, කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ සභාපති රාජා කොල්ලුරේ යන මහත්වරු ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු දළදා මාලිගාවට ගොස්‌ ආගමික වතාවත්වල නිරත වූහ.

ඉන් අනතුරුව හින්දු, කතෝලික, ඉස්‌ලාමීය ආගමික සිද්ධස්‌ථාන වෙත ගොස්‌ ආශිර්වාද ලබාගත්හ.

මෙයට වසර 24 කට පෙර මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ එවකට විපක්‍ෂයේ සිටි ඒකාබද්ධ කමිටුව විසින් එකල පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ රජයට එරෙහිව 1992 මාර්තු 16 වැනිදා කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ සිට කතරගම පූජා භූමිය දක්‌වා දින 18 ක පාද යාත්‍රාවක්‌ පවත්වනු ලැබිණි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *