ඇමති කිරිඇල්ල මාධ්‍යවේදියේකුට නොහොබිනා ලෙස ඇමතු බවට චොදනා.

 

කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයනාංශය සඳහා තාවකාලික කථිකාචාර්යවරයෙකු බඳවාගන්නැයි යොමුකර තිබූ ලිපිය සම්බන්ධව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් ‘අද’ පුවත්පත ඊයේ (29දා)  විමසා සිටි අවස්ථාවේදී විශ්වවිද්‍යාල පනත යටතේ ඇමතිවරයෙකුට එවැනි ඉල්ලීමක් කිරීමට බලය තිබෙන බවත්, ලිපියක් යැවීමට නොහැකි නම් ඇමතිවරයෙකුගෙන් පලක් නොවන බවත් අපහාසාත්මක සහ අශීලාචාර වචනයෙන් බැණ වදිමින් ප්‍රකාශ කල බව අද පුවත්පත සදහන් කරයි.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ පෙබරවාරි 08 වැනිදා ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අත්සන සහිතව යොමුකර තිබූ මෙම ලිපියේ නිවැරදිතාව පිළිබඳව එම අමාත්‍යාංශයේ  මාධ්‍ය ලේකම්වරයාගෙන් පෙරේදා (28) දිනයේදී විමසීමක් කිරීමේදී ඔහු සඳහන් කළේ මෙම ලිපියේ කිරිඇල්ල මහතාගේ නිල මුද්‍රාව සඳහන්ව නැති බැවින් එය ව්‍යාජ ලෙස සකස් කළ එකක් විය හැකි බවයි.

ඊයේ දිනයේදී ඒ පිළිබඳව ඇමතිවරයාගේ අවධානයට යොමු කරවන බවට මාධ්‍ය ලේකම්වරයා පෙරදින සඳහන් කළ බැවින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දුරකථනය මාර්ගයෙන් සම්බන්ධ කරගනිමින් මෙම ලිපියෙ සත්‍ය තත්ත්වය පිළිබඳව අද පුවත්පත විමසා සිටි අවස්ථාවේදි අදාල මාධ්‍යවේදියා ඉහත කණගාටුදායක සිද්ධියට මුහුණ පා තිබේ.

මේ අතර අද‘ පුවත්පතේ මාධ්‍යවේදී අමිත් මදුරංග මහතාට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අපහාසාත්මක හා අසීලාචාර වචනයෙන් බැන වැදීම පිළිබඳව  ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සිය විරෝධය උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට ප්‍රකාශ කරයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

“ඇමතිවරයා අමිත් මදුරංග මාධ්‍යවේදියාට පරුස වචනයෙන් තර්ජනාත්මක ස්වරයෙන් බැණ වැදී තිබේ.තමුසේ, අයිසේ වැනි වචන පමණක් නොව ප්‍රසිද්ධ මාධ්‍යයේ පළ කළ නොහැකි වචන ද  භාවිත කර ඇත.

ඒක පාර්ශ්වික වාර්තාකරණයක් වෙනුවට සමබර වාර්තාකරණයක් සඳහා ඇමතිවරයාගෙන් කරුණු විමසීමේදී ඔහු දැක්වූ ප්‍රතිචාරය අප දකිනුයේ සමස්ත ජනමාධ්‍යවෙත කරන ලද බරපතල තර්ජනයක් ලෙසය.

පාර්ලිමේන්තුවේ සභානායකවරයා ද වන ආණ්ඩුවේ වගකිව යුතු තනතුරක් ද උසුලන ලක්ෂ්මන් කිරිඇල්ල වැනි ඇමතිවරයකු මෙලෙස කටයුතු කිරීම මාධ්‍ය සංවිධානයක් ලෙස අපි දැඩි පිළිකුළෙන් හෙළා දකිමු.

යහපාලනය මෙන්ම මාධ්‍ය නිදහස පිළිබඳ  කතාබහ කරන වත්මන් ආණ්ඩුව, ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි අවධාරණය කරමු”


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *