දේදුණු විප්ලවයෙන් කාණුවට වැටුනු හමුදාව…

Vigneswaran
චතුර පමුණුව: දිවයින පුවත්පතින්…

දේදුනු විප්ලවයෙන් බලයට පත් වූ යහපාලන ආණ්‌ඩුවට වසරක්‌ සපිරීමට ඇත්තේ තව දින 12 ක්‌ පමණි. ජනවාරි 08 වෙනස ගැන කතා කිරීම හෝ එහි ගුණාගුණ විග්‍රහ කිරීම හදිසියේ කළ යුත්තක්‌ නම් නොවේ. නමුත් මේ දේදුනු විප්ලවයෙන් පසු උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්ගේ කටට පණ පෙවුණු බව නම් අප හොඳින් නිරීක්‍ෂණය කළෙමු. 2013 ඔක්‌තෝබර් 07 වැනිදා හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී වැඩ ආරම්භ කළද සැම විටම ඔහු පසුගිය ආණ්‌ඩුව සමඟÊගැටුම් ඇති කර ගත්තේය. රාජපක්‍ෂ ජනපතිවරයා යාපනයේ සංචාරය කරන කිසිම විටකදී රටේ නායකයා පිළිගැනීමට මේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා පැමිණියේ නැත. උතුරේ හමුදා ආණ්‌ඩුකාරයා වෙනස්‌ කර මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මහත්මිය එම තනතුරට පත් කරන ලෙස විග්නේෂ්වරන් ඉල්ලා සිටිය ද රාජපක්‍ෂ අණ්‌ඩුව එයට එකඟ වූයේ නැත.

නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වූ විගස උතුරේ නව ආණ්‌ඩුකාරයා ලෙස හිටපු විදේශ ලේකම් එච්. එම්. ජී. බී. පලිහක්‌කාර මහතා පත්කෙරිණි. එයින් පසු ජනපති සිරිසේන මහතා උතුරේ සංචාරය කරන සෑම මොහොතකදී ම ඔහු පිළිගන්නට මුලින්ම එක්‌ව සිටියේ විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා ය. රාජපක්‍ෂ පාලනය පැවැති කාලයේ මෙන් නොව යහපාලනය පැමිණි පසු ඔහුගේ ප්‍රකාශ ප්‍රබල විය.

එහෙත් මේ ආණ්‌ඩුව බලයට පත් වූ මොහොතේ සිට උතුරු මහ ඇමැතිවරයා සිදු කළ ප්‍රකාශ මෙන්ම ඔහු පළාත් සභාවට ඉදිරිපත් කළ යෝජනා නිසා සිරිසේන – වික්‍රමසිංහ ආණ්‌ඩුව පමණක්‌ නොව, සමස්‌ත ශ්‍රී ලංකා රාජ්‍යයම අපහසුතාවට පත් විය. විශේෂයෙන් ම පසුගිය පෙබරවාරි මුල සතියේදී ඔහු උතුරු පළාත් සභාවට ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වූයේ කුමක්‌ ද? 1948 සිට මේ දක්‌වා ශ්‍රී ලංකාව පාලනය කළ ආණ්‌ඩු දෙමළ ජනයා ඝාතනය කළ බවත්, 2009 දී විශාල ජනසංහාරයක්‌ සිදු වූ බවත්, මේ සියල්ල සොයා බැලීම සඳහා ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ සිදුකළ යුතු බවත් මොහු ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් විය. රාජපක්‍ෂ ආණ්‌ඩු සමයේ පූසකු මෙන් සිටි විග්නේෂ්වරන් හදිසියේ කොටියකු සේ ගොරවන්නට පටන් ගෙන ඇති බව මේ යෝජනාව මගින් පැහැදිලි විය. කොළඹ ප්‍රභූ පන්තිය නියෝජනය කරන විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා 1990 දී උතුරේÊමහ ඇමැති වූ අන්නමලෙයි වර්ධරාජා පෙරුමාල් අනුගමනය කරන්නේ දැයි සමහරු ප්‍රශ්න කරන්නට විය. එහෙත් පෙබරවාරි මාසයෙන් පමණක්‌ මේ අවුල අවසන් වූයේ නැත.

උග්‍ර සිංහල විරෝධී මතයක සිටිමින් දෙමළ ඩයස්‌පෝරාව කුල්මත් කිරීම වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා ඉන්දීය අගමැති නරේJද්‍ර මෝදි උතුරේ සංචාරය කරන විට ප්‍රකාශ කර සිටියේ කුමක්‌ ද? උතුරු නැඟෙනහිර ප්‍රශ්න විසඳීම සඳහා දිල්ලිය කෙළින්ම මැදිහත් විය යුතු බවයි. මේ ප්‍රකාශවල බරපතළ තත්ත්වය නිසාම ප්‍රකට ඉන්දීය මාධ්‍යවේදියකු වන එම්. ආර්. නාරායන් ස්‌වාමි, මහ ඇමැති විග්නේශ්වරන් ගැන ලිපියක්‌ ලියමින් ඉන්දීය රජය මොහු ගැන වඩාත් සැලකිලිමත් වියයුතු බව අවධාරණය කර තිබිණි. විග්නේෂ්වරන්ගේ ක්‍රියා කලාපය යළිත් බෙදුම්වාදී යක්‍ෂයා කැඳවීමක්‌ බව නාරායන් ස්‌වාමි හොඳින් අවබෝධ කර ගෙන ඇති බව පැහැදිලිය.

76 හැවිරිදි උතුරු මහ ඇමැතිවරයා පිළිබඳව ඉන්දියාව මෙන්ම ඇමරිකාව ද අසතුටින් සිටින බව මීට සති දෙකකට පමණ පෙර ඉන්දියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත වාර්තා කර තිබිණි. විශේෂයෙන් ම මහ ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය හරහා දෙමළ ජාතික සන්ධානය දෙකට කැඩීයැමේ අනතුරක්‌ මතුව ඇති නිසා මේ ප්‍රබල රාජ්‍ය දෙකම විග්නේෂ්වරන් සම්බන්ධව කටයුතු කරනුයේ කලකිරීමකිනි. එක්‌සත් ජාතීන්ගේ ඇමරිකානු නිත්‍ය නියෝජිත සමන්තා පවර් මහත්මිය ඉකුත් නොවැම්බර් 23 වැනිදා යාපනයේදී උතුරු මහ ඇමැතිවරයා හමුවූ අවස්‌ථාවේදීත් විග්නේෂ්වරන් අවධාරණය කර ඇත්තේ කොළඹ ආණ්‌ඩුව සමඟ සහජීවනයෙන් කටයුතු කරමින් දෙමළ ජනයාගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ලෙසය. විග්නේෂ්වරන්ගේ හිතුවක්‌කාරී මතයට වඩා ආර්. සම්බන්ධන්ගේ මැදිහත් මතය මෙහිදී ඇමරිකානු තානාපතිනියගේ අගය කිරීමට ලක්‌ව ඇත. ඒ ගැන සටහනක්‌ ඇගේ ට්‌විටර් ගිණුමේ ද දක්‌වා තිබිණි.

ඇමරිකාවත්, ඉන්දියාවත් උතුරු මහ ඇමැතිවරයාව ප්‍රතික්‍ෂේප කරන තත්ත්වයක්‌ උදා වී තිබියදී ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා සාමාජිකයන් පිළිබඳව විග්නේෂ්වරන් ප්‍රකාශ කළ අදහසක්‌ පසුගිය සතියේ මාධ්‍යවල පළ වී තිබිණි. උතුරු පළාත් සභාවේ අය වැය විවාදයට එක්‌වෙමින් විග්නේෂ්වරන් ප්‍රකාශ කර තිබුණේ කිසිම රාජකාරියක්‌ නොමැතිව උතුරේ හමුදා කඳවුරුවල සිටින භටයන් යොදවා එම ප්‍රදේශවල කාණු අගල් මෙන්ම ඇළ මාර්ගද පවිත්‍ර කරගත යුතු බවයි. උතුරු මහ ඇමැතිවරයා හමුදාව නිග්‍රහයට ලක්‌ කිරීමට උත්සාහ කළ දෙවැනි අවස්‌ථාව මෙය වේ. මීට පෙර ඉකුත් ජුනි මාසයේදී උතුරේ තරුණයන් අතර මත්ද්‍රව්‍ය භාවිතාව ඉහළ යැමට වගකිවයුත්තේ ආරක්‍ෂක අංශ බව හෙතෙම ප්‍රකාශ කර තිබිණි. 2013 සිට ම උතුරෙන් හමුදාව ඉවත් කළ යුතු යෑයි ප්‍රකාශ කරන මොහු මත්ද්‍රව්‍ය චෝදනාව ද එල්ල කළේ හමුදාව අපකීර්තියට පත් කිරීමටය. යළිත් කිසි රාජකාරියක්‌ නොමැතිව සිටින හමුදා භටයන් කාණු ශුද්ධ කිරීමට යෙදවිය යුතු යෑයි ප්‍රකාශ කරන්නේ ද ත්‍රස්‌තවාදය පරාජය කළ රණවිරුවන් අපහසුතාවට පත් කිරීමටය. හමුදාව යොදවා මහජන යහපත වෙනුවෙන් සිදු කරන කටයුතු උතුරේ ද දකුණේ ද, රටේ සෑම තැනකම සිදුවෙයි. කිළිනොච්චිය ගංවතුරෙන් යට වූ විට එහි වැසියන්ට උපකාර වූයේ ආරක්‍ෂක අංශ සාමාජිකයන් ය. ඉරණමඩු ජලාශයේ සොරොව්ව විවෘත කිරීමට නොහැකිව තිබියදී එය නැවත සකස්‌ කරනු ලැබුවේ ද හමුදා සාමාජිකයන් ය. උතුරු පළාතේ වැසියන්ගේ යහපත වෙනුවෙන් හමුදාව සිදු කරන මෙහෙය හමුදා වෙබ් අඩවියේ පළවන පුවත්වලින් ම හොඳින් දැකගත හැකිය. නමුත් විග්නේෂ්වරන්ගේ මේ ප්‍රකාශවලින් හැඟෙන්නේ කුමක්‌ද? “කිසි රාජකාරියක්‌ නොමැතිව” සිටින හමුදා භටයන් යොදවා කාණු ශුද්ධ කිරීම යනුවෙන් පවසන්නේ කුමකට ද? රාජකාරියක්‌ නොමැති වදන යොදන්නේ හිතා මතා ය. එයින් අදහස්‌ කරන්නේ කුමක්‌ද? හමුදාව උතුරේ නිකම් ලැගුම් ලා සිටින බවද,? විග්නේෂ්වරන් නොදන්නවා වුවද, ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට දහසක්‌ රාජකාරි ඇත. ඒවා එකිනෙක සටහන් කළ යුතු නැත. මීට පෙර මත්කුඩු වලින් දමා ගසමින් හමුදාව නිග්‍රහයට ලක්‌ කිරීමට උත්සාහ කළ මේ මහ ඇමැතිවරයා දැන් හමුදාව කාණුවට තල්ලු කරමින් හමුදාව මඩ වතුරේ ගිල්වීමට උත්සාහ කරති. එහෙත් ‘විග්නේෂ්වරන් උපාය’ කිසි විටෙක සාර්ථක නොවන බව පැහැදිලිව සටහන් කළ යුතුය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *